ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සංවර්ධනය සහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සදහා වන අවබෝධතාව ඉවත දමා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය 17 වැනිදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශය මෙම වාර්තාවලින් නිවැරැදිව ඉදිරිපත් කර නොමැති බවත් ඒ පිළිබද අමාත්‍යවරයා විසින් ඊයේ (18) මාධ්‍ය හමුවක් මගින් විස්තරාත්මකව පැහැදිලි කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය තානාපති කාර්යාලය දැනුම් දෙයි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සාරාංශයගතව ඇති පරිදි 2017 මේ පිළිබද එළැඹුණු අවබෝධතා ගිවිසුම ද ඇතුළුව පවත්නා ද්විපාර්ශ්වික අවබෝධයට අනුව මෙම තෙල් ටැංකි දෙරට ඒකාබද්ධව සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමවේදයන් සොයාබැලීමට රජයන් දෙක එකිනෙකාගෙන් උපදෙස් ලබාගෙන ඇත.
ඉන්දියාව මේ පිලිබද නිල වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය ප්රතිලාභ ලබාගත හැකි වන පරිදි කඩිනමින් මෙය ක්‍රියාත්මක කිරීමට ද ඉන්දියාව අපේක්ෂා කරන බව නිවේදනයේ දැක්වේ.







