විශේෂ මෙහෙයුමක් කර ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට රැගෙන විත් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලංකාවේ ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ කංජිපානි ඉම්රාන් ඇප ලබා කීප දිනක් තුළ ඉන්දියාවට පලා ගොස් ඇත්තේ පකිස්ථානයට ඇතුලුවීමේ සූදානමකින් බව මෙරට බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරු අනාවරණය කර ඇත.
ඔහු පසුගිය 25 වැනිදා නත්තල් දා මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත ගොස් ඇති කංජිපානි ඉම්රාන් පකිස්ථානයේ මත්කුඩු ජාවාරම්කරුවන් සහ අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලි සමග ඇති සමීප සම්බන්ධතාව උපයෝගී කරගෙන මෙසේ පකිස්ථානය වෙත පලා යෑමට සැලසුම් කර ඇති බව ද බුද්ධි වාර්තා හෙළි කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් ඔහු පක්ස්ථානයට පලා ගොස් තිබේ ද යන සැකය බුද්ධි වාර්තා විසින් ඉදිරිපත් කර ඇත.
ඉන්දියාවේ සිටින මෙරට පාතාලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් දියත් කර ඇති බැවින් සැඟවී සිටීමට ඔහු පකිස්ථානය තෝරාගෙන ඇති බව විශ්වාස කරයි.
මේ රටේ මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් වූ වෙලේ සුදා සහ මොහමඩ් සිද්දීක් ද කලක් සිය ආරක්ෂක ස්ථාන තෝරාගෙන තිබුණේ පකිස්ථානයේ ය. පසුව පකිස්ථාන රජය විසින් මේ ජාවාරම් කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලංකාවට භාර දුන්නේය.
වෙලේ සුදාට මරණීය දණ්ඩනය නියම වූ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ මොහොමඩ් සිද්දීක් පසුව අභියාචනාධිකරණය හරහා නිදහස් වී මේ වනවිට ඩුබායි හි රැඳී සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරත වන්නේය.