ඉතාමත් ඉහළ මිළ ගණන් වලට නියම කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර වල මිළ අඩු කිරීමට පකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් හදිසියේ තීරණය කර ඇත.
අවම මිළ රු. 9000 කට හා උපරිම මිළ රු.96,000/= කට විකිනීමට තිබුණද 35,000 ක් ප්‍රේක්ෂකයන්ට තරග නැරඹිය හැකි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අඩකට වඩා ඉන්දියා- පකිස්තාන තරගයේ හිස්ව තිබීම මෙයට හේතුව වී තිබේ.
ඉන්දියා – පකිස්ථාන තරගයකදී මෙවැනි අකරගැබ්බයක් මෑත ඉතිහාසයේ සිදුවී තිබුණේ නැත.
මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව හා අවසන් තරගය ඇතුළුව තරග වැඩි හරියක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණද තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පකිස්තානය බැවින් ප්‍රවේශ පත්‍ර මිළ ගණන් නියම කිරීම හා විකිණීම කරනු ලබන්නේ ඔවුන් විසිනි.
ඉන්දියාව හා පකිස්තානය කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා මණ්ඩප අතුරු සිදුරු නැතිව පිරී යාම සිරිතක් වන අතර ඔවුන් තරග වදින අවස්තාවක අඩුම ප්‍රේක්ෂක පිරිසක් දක්නට ලැබුණේ මෙවරය.
මෙම මිළ ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කිසිසේත් ඔරොත්තු නොදුන්නද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදී.
එපමණක් නොව ඉන්දියාව හා පකිස්තානය අතර තරගයට පමණක් අතිරේක දිනයක් තරගාවලිය මැද ලබා දීම සම්බන්ධවද බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මුනිවත රැකීමද විශේෂ සිද්ධියකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ බලධාරීන්ට වෙන්කර ඇති වායුසමීකරණය කර කෑම බීම සපයන කුටිවල ඔවුන්ගේ ආරාධිතයන් පිරී සිටිනු දක්නට ලැබිණ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය හෙට ( අඟහරුවාදා) පැවැත්වේ.