ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන්වරුන්ට අයිති වීමත් සමඟ එරට කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වී තිබෙන අතර හේරාට් පළාතේ පැනවුනු නවතම නීතිය අනුව කාන්තාවන්ට ඔවුන් වෙනුවෙන්ම වෙන්ව තිබූ උද්‍යානවල නිදහසේ ඇවිදීම තහනම් විය. එලෙසම අවන්හවල්වල පවුලේ සියලු දෙනා වෙනුවෙන් වෙන්ව තිබූ කොටස් වසා දැමීමට නියෝග කර ඇතැයි ‘ඇෆ්ගන් පීස් වොච්’ සංවිධානය සඳහන් කරයි.
මෙම නව නීතියට ඇෆ්ගනිස්ථාන ජනතාව දැඩි සේ අප්‍රසාදය පළ කර තිබේ. 22 හැවිරිදි තරුණියක වන රෙහානා අහ්මාඩියන් සඳහන් කරන්නේ ඇගේ මවට අධික රුධි පීඩනය ඇති බවත් වෛද්‍ය උපදෙස් අනුව ඇය උද්‍යානයකට ගෙන ගොස් ඇවිදීමට ඉඩ සැලසූ බවත්ය. එහෙත් තලේබාන්වරුන්ගේ නව නීති හේතුවෙන් පිරිමියෙකු නොමැතිව නිවසින් පිට වීමට නොලැබෙන නිසා තමන් දැඩි අසීරුවකට පත්ව සිටින බව ඇය පවසයි.
“තලේබාන්වරුන් බලේට ආවාට පස්සේ ඔවුන් කාන්තාවන්ට හිරිහැර කරනවා මිස වෙන දෙයක් කරන්නේ නෑ.. එයාලට ඕනේ කාන්තාවන්ව ගෙවල් ඇතුළේ හිරකාරයෝ කරන්න.,” හේරාට් හි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන අසිලා මිස්බාහ් චෝදනා කරයි.
පෙර රජය යටතේ කාන්තාවන්ගේ ඉගෙනීමේ අයිතියට ගරු කරමින් ඔවුන්ට ඉහළට ඉගෙන ගැනීමට අවස්ථාව සලසා තිබුණත් තලේබාන්වරුන් ගැහැණු ළමුන්ට හයවන ශ්‍රේණියෙන් පසු ඉගෙනීම තහනම් කළ අතර ඔවුන්ට රැකියා කිරීම, පොදු ස්ථානවල නිදහසේ සිටීම ද තහනම් විය.







