වාද්දූවේ පිහිටි රාජ්ය බැංකුවකට ඇතුළු වී එහි ණය අංශයේ නිලධාරිනියකගේ ගෙලට පිහියක් එල්ලකර ඇපකරුවන්ගේ ලේඛනයෙන් සිය නම ඉවත්කරන ලෙස මරණීය තර්ජන එල්ල කළ පුවතක් ඊයේ (18) වාර්තා වී ඇත.
බැංකු ආරක්ෂකයින් සහ සේවකයින් එක්ව ඒ අවස්ථාවේදී සැකකරුව අල්ලා පොලීසියට භාර දුන් බව වාද්දූව පොලිසිය කියයි. බැංකු සේවිකාවගේ ගෙලට තුවාල සිදුවී ඇති බැවින් ඇය රෝහල්ගත කර ඇත.
සිය මිතුරෙක් බැංකුවෙන් ලබාගත් ණයක් සම්බන්ධයෙන් මේ පුද්ගලයා ඇපකරුවෙක් වී සිට ඇත. පොලිසිය කියන්නේ නිලධාරිණියගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර ඇත්තේ එම ඇපයෙන් ඔහුව නිදහස් කරන ලෙසය.
මෙම පුද්ගලයාගේ මානසික තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එතෙක් ඔහුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය පියවර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.