ආර්ථික අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සකස් කිරීමට රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී යෝජනා වී ඇත.
වත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙම වැඩසටහන් මාලාව සකස් කළ යුතු බව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කර තිබේ.
මේ පිළිබඳව යෝජනා වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
පසුගිය ජූලි 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “2022 – වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමක් සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කරන ලදී.
මෙම දැනුවත් කිරීමේදී පැහැදිලි වූ විවිධ කරුණු හේතුවෙන් මෙසේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට යෝජනා වී ඇත.
මේ අනුව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ උද්දමනය ඉහළ යාම සමග පොලී අනුපාතය ඉහළ යා හැකි බවයි. මේ නිසා පළමු වැඩසටහන ලෙස උද්ධමනය සහ පොලී අනුපාතය අතර ඇති සම්බන්ධය පිළිබඳ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට තමා යෝජනා කරන බව හෙතෙම පැවසීය. එසේම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා සම්බන්ධවීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේ ය.
මෙම කාරක සභාව සඳහා අමාත්‍ය ගරු විදුර වික්‍රමනායන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, වෛද්‍ය සීතා අරඹේපොළ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, එම්. ඒ. සුමන්තිරන්, හර්ෂණ රාජකරුණා, අනුප පැස්කුවල්, මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහභාගී වූහ.







