ඉදිරියේ දී ලංකාවට ගොඩ බසිනා ගුවන් යානාවලට මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගත යුතු බවත් අනිවාර්යයෙන්ම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇතිවන බවත් වරාය නවික හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රඳවා ගත් එරොෆ්ලොට් රුසියානු ගුවන් යානයේ වාරණ නියෝගය අත්හිටුවා ලංකාවේ සිට අවශ්‍ය ගමනාන්තයක් දක්වා යෑමට හැකියාව ලැබීමෙන් මෙම ප්‍රශ්නය විසඳුන බව අද (06) සවස මාධ්‍යයට දන්වා සිටිමිනි.
මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් විසඳීමට ලැබීම ගැන සතුටුවන අතරම මේ සිදුවීම නිසා අපහසුතාවයට පත් වූ ගුවන් මගීන්ටත්, භාණ්ඩ ප්‍රවාහන කටයුතු යථා පරිදි සිදුනොවීම සම්බන්ධව අදාල අංශවලටත් සිය කණගාටුව පල කරන බව ද ඇමතිවරයා කීවේය.
“ඉදිරියේදී ස්ථාවර ලෙසම කිසිම ආකාරයකින් මෙවැනි තහනමකට යටත් වීමට ඉඩ නොතබන තත්ත්වයක් අපි ඇතිකරගත යුතුයි. මං හිතනවා අනිවාර්යයෙන්ම ඉදිරියේ දී එය සිද්ධ වෙයි. මම හිතනවා මේ ප්‍රශ්නය දැන් අවසන් කියලා. ඒ බව ඉතාම සතුටින් කියන්න කැමතියි. “
කොළඹ වාණිජ අධිකරණ නියෝගයක් මත ඉකුත් 02 දා සිට රඳවාගෙන සිටි එරොෆ්ලොට් ගුවන් සේවයේ SU 288 ගුවන් යානය එම අධිකරණ වාරණනියෝගය අත්හිටුවීමෙන් පසු අද සවස 6ට කටුනායකින් පිටත්ව ගියේය.







