මීගමුව කොට්ඨාශයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මීගමුව කොට්ඨාශයේ අපරාධ අංශයේ ස්ථානාධිපති (OIC) වන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්, නියෝජ්‍ය පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙකු සහ එම කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනෙකි.
සැකකරුවන් අඟහරුවාදා (14) ඇහැළියගොඩ පන්නිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී අනතුරුව ඇහැළියගොඩ, පන්නිල ප්‍රදේශයේ ගඟක දිය නාමින් සිටියදී ප්‍රදේශවාසීන් සමඟ ඇති වූ බහින්බස් වීම ගුටි කෙළියක් දක්වා දුරදිග ගොස් පුද්ගලයින් කීප දෙනෙකුට තුවාල සිදුකිරීම හේතුවෙන් මෙම සැකකරුවන් ඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට පහරදුන් අය හඳුනාගැනීමේ හැකියාව තමන්ට ඇති බව වින්දිතයන් අධිකරණයට දන්වා හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙස ඉල්ලා සිටි බැවින් ඔවුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන එම පෙරෙට්ටුව පැවැත්වෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව සැකකරුවන් දෙසැම්බර් 27 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.







