මත්ද්‍රව්‍ය සම්බන්ධව ලද තොරතුරක මත අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයේ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ සිද්ධියකින් පසු යතුරු පැදිවලින් සහ ත්‍රී රෝද රථවලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් 40කට අධික පිිරිසක් ප්‍රදේශවාසීන්ගේ දේපල හානි කරමින් ඔවුන්ට බරපතල ලෙස පහර දුන් බවට චෝදනා එල්ල වෙමින් ඇත.
මුලින්ම මෙම සිද්ධිය ඇතිවන්නේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවක් සම්බන්ධව ලද තොරතුරක් මත කොටුව පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙක් ඊයේ අළුයම 2.30ට පමණ සිවිල් ඇඳුමින් ගොස් වැටලීමක් කරන්නට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මතුවීමත් සමගය.
පොලිසිය පවසන ආකරයට එම කාන්තාව අත් අඩංගුවට ගෙන මරදාන පොලිසියට රැගෙන යන අවස්ථාවේ දී තරුණයින් දෙදෙනෙක් එම නිලධාරීන්ට පහර දී තිබේ. පසුව එම නිලධාරීන් ද තරුණයින්ට පහර දී තිබේ. ඒ සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට එක් රොක් වී ඇති අතර සිද්ධිය උණුසුම්වන්නේ එතැන් සිටය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණේ අළුයම කාන්තාවක් අත් අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් නිවසට කඩා වැදුණු පොලිස් පුද්ගලයින් සිව් දෙනා පැමිණ තිබුණේ කාන්තා පොලිස් නිලධාරිණියක ද නොමැතිව බවය.
අත් අඩංගුවට ගැනීමට පැමිණි කාන්තාවගේ ඥාතිවරියක මාධ්‍යයට පැවසුවේ කාන්තාවට මාංචු දමා රැගෙන යන්නට උත්සාහ කරද්දී තමන් ලඟ මත්ද්‍රව්‍ය නොමැති බවත් තමන්ව අත් අඩංගුවට ගන්නේ කුමණ හේතුවක් නිසාදැයි ඇය පොලිසියෙන් විමසූ බවත් ය.
මත්ද්‍රව්‍ය ඇතිනම් පෙන්වන ලෙසත් එසේ පෙන්වා දීමට හැකි වුවහොත් තමන් පොලිසියට පැමිණෙන බවත් ඇය ප්‍රකාශ කළ ද පොලිස් නිලධාරීන් පොලිසියට ගිය පසු මත්ද්‍රව්‍ය පෙන්වන බවට කළ ප්‍රකාශයක් ඇයගේ ඥාතිවරිය මධ්‍යයට කීවාය. මෙම පොලිස් පුද්ගලයින් බීමත්ව සිටි බවත් කාන්තාව මේ සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් පුද්ගලයින් සමග නොයවා ඇය ප්‍රදේශයේ පොලිසිය වෙත රැගෙන ගිය බවත් ඥාති කාන්තාව කිවාය.
මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ දී පිටකොටුව පොලිසියෙ නිලධාරීන් කණ්ඩායමක් පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පල පරීක්ෂා කර ගමන් කිරීට සූදානම්වතිබූ බස් රථයක පුද්ගලයෙක් සතුව තිබී හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමක දී හෙරොයින් ලබා ගත් ස්ථානය සම්බන්ධව මෙම පුද්ගලයා විසින් හෙළි කර තිබේ. පොලිස් නිලධාරීන් කණ්ඩායම එම ස්ථානය සොයාගෙන එහි ගොස් ඇත.
එහිදී ඔවුන්ට නිරීක්ෂණය වෙනවා මේ ස්ථානයෙ ඉන්නේ කාන්තාවන් කියලා. නිවස පරීක්ෂාවේ දී මෙම කාන්තාව ඉතාම ප්‍රකෝපකාරීව හැසිරිලා තියනවා. සැක කාරිය අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරිමේ දී එම ස්ථානයට පැමිණි පිරිස් මෙම පොලිස් පරික්ෂකවරයාට පහරදීමක් කරලා තියනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව කියන්නේ සිද්ධියට අදාල කාන්තාව ඇතුළ කණ්ඩායම පොලිස් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව 40කට ආසන්න සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් කණඩායමක් පැමිණ ලොකට්ලේන් වත්තේ සිවිල් මිනිසුන්ට පහර දෙමින් නිවාසවල ජනෙල් දොරවල් බිඳ දමා දැඩි ලෙස පුද්ගල දේපලවලට හානි සිදුකළ බවය.
ප්‍රදේශවාසී පිරිස් පොලිසිය විසින් පහර දුන් පොලු, කඩා දැමූ දේපල, සහ ලේ පැල්ලම් මාධ්‍ය වෙත පෙන්වමින් විශාල කතාවක් කියමින් සිටියහ.
“ අපේ උන්ට කවුද පාට් දැම්මේ” කියා අසාගෙන පැමිණි මෙම පොලිස් මැර කණ්ඩායමේ නිර්දය ප්‍රහාරයට ලක්වුන තරුණයෙක් සිටි තැනින් නැගිටීමට නොහැකිව බිම වැටී හිඳමින් හඬා වැටි වැටී මාධ්‍යයට කතා කළේය.







