පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ ඕෂල හේරත් විසින් ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (14) නියම කළේය.
මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලවගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බව පෙත්සම්කරු කියා සිටියේය.
රජයේ සේවයෙන් ඉවත් නොවී එලෙස නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කර තිබිණි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.







