ඊයේ රාත්‍රී මට පෙම්වතියගෙන් හදිසි වට්ඇප් පණිවිඩයක් ආවේය.
“ඇත්තටම බබා ඔයාට බැරිද?”
“මොකක්ද?” මම නිදිමතේ ඇසුවෙමි.
“රට බාර ගන්න?”
“අම්මට සිරි”
මගේ නිදි දැහැන කැඩී, ඉහින් කණින් දාඩිය දා ඇදේ ඉද ගැණුනි.
“ඇයි බබා ඔයාට බැරිද?” මම ඇසුවෙමි.
“මොකක්ද?” යන්නෙ කොහෙද මල්ලෙ පොල් පෙම්වතිය ඇසුවාය.
“වෙන මොකක් ඉතිං රට බාර ගන්න. කොහොමත් ඔයා බාර ගන්නෙම ඔය වගේ වහුකුණු ජොබ්නේ!” මම පරණ කෝන්තරයක්ද ඈ පිට යැවීමි.
ඈ සිනා මුහුණක් එව්වාය. ‘මේක හිනා යන වෙලාවක්ද යකෝ’ කියලා අහන්න හිතුනත් නාහා නිදා ගතිමි .
ටින් ටින්.
“මම රට බාර ගත්තොත් සූර ප්ප්පා එකේ ක්ලියෝපැට්රා වගේ ඉදියි”
සූරපප්පාවත් උගේ ක්ලියෝපැට්රාවත් නොදන්න මම ඈ මෑ වැනිම වෙන්නැතැයි සිතීමි.
“ඒවුණාට ඔයාට සියළු සුදුසුකම් තියෙනවනෙ. කාලයක් පීසාහට් එකෙත් වැඩ කළානේ” මම ඈ දිරිමත් කළෙමි.
“විහිළු නෙමෙයි අනේ දැන් කවුරු අපිව බාර ගනීද?”
“ඇයි කවුරුත් අපිව බාර ගන්න බෑ කියනවද?” මම පෙරළා ඇසුවෙමි.
“මොන? අන්න පොරේ අපිව බාර ගන්න”
“කවුද දැන් උන්ට කිව්වෙ අපිව බාර ගන්න කියලා?”
“අනේ අපිව ඉක්මනට බාර ගන්න! අපිව ව්‍යවස්ථාවක් ඇතුළට දාන්න! කියලා මිනිස්සු වැළපෙන සද්දෙ එයාලට ඇහෙනවාලු”
“නැති කතා ඇහෙන එකට කියන්නේ භින්නෝන්මාදය කියල. ඒක දරැණු මානසික රෝගයක්” මම කීවෙමි.
“එතකොට ව්‍යවස්ථානුකූලව වැඩ කරන්න එපා කියලද ඔයා කියන්නේ?”
“ව්‍යවස්ථාවට එළියෙන් මොකුත් කර ගන්න බැරි වෙයිද?” මම ඈ අවුස්සනු රිසියෙන් ඇසුවෙමි.
“එහෙම බෑලු. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීලු” ඈ එ වදන් ප්‍රතිරාව කළාය.
“එතකොට ඔය කියන මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා පඩංගුව ඇතුලේ ඉදන්නෙ මෙයාලා මෙච්චර දවසක් බඩ පිණුම් ගහලා රට බංකොළොත් කළේ. ඒක විසික්කා කරන්න කවුරුත් කතා කරන්නෙ නැද්ද?”
“නෑ අනේ එහෙම කැත වැඩ කරන්නෑ එයාලා. ව්‍යවස්ථාවට අනුව තියන ඊළඟ ජනාධිපතිවරණය ගැනත් දැනටම සාකච්ඡා වෙනවා”
“දැන් කාටද ආපහු ජනාධිපතිවරණයක් ඕනේ?” මම ඇසුවෙමි.
“එයාලට ඕන ඇති අනේ!”
“එයාලට පණිවිඩේ හරියට ලැබිලා නෑ වගේ”
“ඒ කිව්වේ?”
“ඒ කිව්වෙ, අරගලයේ සජීවි විකාශය ගෙදර ඉඳන් නරඹපු එවුන්නෙ දැන් ඔය රට බාර ගන්න හදන්නේ!”









