ලලිත් චාමින්ද –
මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් හිඟ සුරාබදුමුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවිය යුතු රුපියල් දෙසිය අට කෝටි පනස්එක් ලක්ෂ හතලිස්දහස්එකසිය අසූ අටක (2,085,140,188) මුදලක් අයකර ගැනීමට සුරාබදු දේපාර්තමේන්තුවට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල වසර 05කට වැඩිකාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් අයවිය යුතුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙයි.
2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් තිස්හය කෝටි හය ලක්ෂ විසිපන්දහස් හාරසිය තිස් නවය (360,625,439)කි. ප්‍රමාද ගාස්තු මුදල් එකසිය හැත්තෑ දෙකෝටි හතලිස්පන් ලක්ෂ දාහතර දහස් හත්සිය හතලිස් නවය (1,724,514,749 )කි.
හිඟබදු මුදල් පැහැර හැරීම සම්බන්දයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන 03කට අදාලව නඩුපැවරීමට අවශ්‍ය මුලික කටයුතු කොටුම්පත් කරන අවස්ථාවේ හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම පිළිබද එකඟතාවයක් ඇතිකරගෙන තිබුණි.
එහෙත් අදාල මත්පැන් නිෂ්පාදන ආයතන විසින් එම එකඟතාවය කඩකර හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවිමද පැහැරහැර තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
හිඟබදු අයකරගැනිම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් 02කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගවෙමින් පවතින අතර අනික් සමාගම් තුන සඳහා අධිකරණයේ නඩු පැවරිමට අවශ්‍ය මුලික කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිති අංශය මගින් සිදුකරමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොටඇත.
මේ අතර නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමකින් 2021 වර්ෂයේ දෙසැම්බර් .31 දින වනවිට රුපියල් එකසිය විසිහතරකෝටි අසුඑක් ලක්ෂ අනුහතර දහස් දෙසිය පනස්හතක මුදලක් (1,248,194,257) අයවීමට ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.
එකි සමාගමෙන් අයවිය යුතු ප්‍රමාද ගාස්තු මුදල රුපියල් හැත්තෑනව කෝටි තිස්දෙලක්ෂ විසිපන්දහස් හාරසිය විසිනවය (793,225,429) කි.
මේ අතර අදාළ සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම් භකිරීම සඳහා මුලිකව රුපියල් 100,000,000, ගෙවිමටත් ඉතිරිය වාරික 24කින් ගෙවිම සඳහාත් 2021 ජුනි මස 23 වන දින ගිවිසුම්ගතවී තිබුණි.
කෙසේවුවද ඉන් මුලික ගෙවිම වාරික දෙකක් යටතේ ඉන් පළමු වාරිකය 2021 ජුනි මස 30වැනි දින ගෙවීමට කටයුතු ආරම්භකර තිබුනද අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නැවත නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට පියවරගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
2021 වර්ෂයට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වේ.







