නව ජල සම්පාදන ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා වැඩ භාරගැනීම සඳහා අද (21) අමාත්‍යාංශය වෙත පැමිණෙන අවස්ථාව වනවිට ඔහු සමග පැමිණෙන 50කට ආසන්න පිරිස වෙනුවෙන් තේ පැන් සාදයක් සූදානම් කරන ලෙස අමාත්‍යාංශයට දැන්වීමත් සමග සේවකයින් අතර දැඩි විරෝධතාවයක් පැන නැගී තිබේ.
රජය සියලුම වියදම් සීමා කරන ලෙස දැනුම් දී තිබිය දී ඇමතිවරයාගේ පාර්ශවයෙන් එන මෙම නියෝගය හේතුවෙන් මූල්‍ය පරිපාලන අංශ දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි ද කෙසේ හෝ අමාත්‍යාංශයෙන් කෙරෙන වෙනත් ව්‍යාපෘතීන්වලට වෙන් කළ මුදලින් කොටසක් වැය කර මෙම තේ පැන් සාදය පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වේ.
මේ අවස්ථාවේ පිරිත් කියා සෙත් පැතීමට සංඝයා වහන්සේලාට ආරධනා කළ විට උන්වහන්සේලා දන්වා ඇත්තේ රටට කන්න නැතිව ඉන්න කාලයකදී පැවැත්වෙන සාද අතුරෙහි පිරිත් කියා සෙත් ශාන්ති පැතීම කළ නොහැකි බවය.
මේ වනවිට මෙම කටයුත්ත සම්බන්ධීකරණය සඳහා යෙදවූ කණ්ඩායම හැර අමාත්‍යාංශයේ බහුතර සේවකයන් මෙම තේ පැන් සාදය වර්ජනය කර ඇතැයි දැනගන්නට තිබේ. මෙම අවස්ථාව කිසිදු මාධ්‍යයකට ආවරණය කිරීමට අවස්ථා ලබා නොදෙන ලෙසද නව අමාත්‍යවරයාගෙන් නියෝග ලැබී තිබේ.







