රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් ඊයේ (20) සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන අතරතුර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බී වාර්තාව පොලිසිය විසින් වෙනස් කිරීම සම්බන්ධව පොලිසියට අධිකරණයෙන් සමාව ඇයැද සිටීමට සිදුවිය.
ඔවුන් වෙනස් කර තිබුණේ ස්ථාන පරීක්ෂණය සඳහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවය.
දණ්ඩනීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ උපරිම වසර පහක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියමවන වරදක් වූ නොසැලකිලිමත් ලෙස සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට අදාල චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂණයේ යෙදී සිටින අතරවාරයේ දී පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු අධිකරණයේ නිරීක්ෂණයට ලක්වීමත් සමග මෙම පොලිසිය නිරුත්තර වූයේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය.
කරකියාගත දෙයක් නොමැතිවූ පොලිසියට අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටියේය.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ද පොලිසිය අධිකරණය ඉදිරියේ පොරොන්දු වූයේය.
මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කළ හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත් ය.
එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව නීතිඥවරු ප්‍රකාශ කළහ.
මේ වනවිට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (2022.04.21) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගැනීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධව දන්නා යම් පුද්ගලයෙකු වේ නම් 2022.04.21 දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වා සාක්ෂි ලබා දීමේ අවස්ථාව ලබා කර ගත හැකි බව ප්‍රකාශ වී ඇත.
තවද දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කළ පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කළ පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුළත් කරන ලෙසද නීතීඥවරු ඉල්ලූහ.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී සිටියහ.