මනම්පිටිය නිමල් ජයරත්න –
ඒකාධිපතියා පළවා හැරි බවත් අනාගතයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නව සභාපතිවරයෙක් පත්වනු ඇති බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අද පොලොන්නරුවේ දි පැවසුවේය.
රස්තියාදුකාරයින්, දූෂකයින්, අපරාධ නඩු සහිත පුද්ගලයින් පක්ෂ සංවිධායකවරුන් ලෙස පත් කරගෙන කොත්තු දමන්නාක් සේ සංවිධායකවරුන් මාරු කරමින් පක්ෂයට කළ විනාශය වළක්වා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැදිහත් වූ බවත් මහින්ද අමරවීර පැවසුවේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ, ප්‍රංශ රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 650 ක වියදමකින් ඉදිකරන ලද නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මේ බව පැවසුවේය.
මෙහිදී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳ මෙලෙස කීවේය.
” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ කවදාවත් දැක්කේ නැති කට්ටිය, රස්තියාදුකාරයෝ වගේ ඒ අය හැසිරෙන්නේ, අතීතයේ රස්තියාදුකාරයෝ මේ පක්ෂටයට ගත්තේ නෑ. හොඳ අයත් ඉන්නවා හොඳ සංවිධායකයොත් ඉන්නවා, ඒවගේම මේ පක්ෂයට සංවිධායකයන් පත් කරන්න දවසෙන් දෙකෙන් ලියුම් ගහනවා,හරියට කොත්තු ගහනවා වගේ, ඒ ලියුම් වලට පිටඋඩ තියාගෙන අත්සන් කරනවා, එහෙම සංවිධායකයන් පක්ෂවලට පත් කරගන්නෑ හොයලා බලලා හොඳ අය පත්කරගන්න ඕනේ, ගොඩක් චෝදනාවලට ලක්වුන අය තමයි එතෙන දාගෙන ඉන්නේ. සමහර අයට නඩු තියෙනවා, සමහර අයට අල්ලස් නඩු තියෙනවා, එහෙම අය පක්ෂයේ ඉන්න ඕන නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ සභාපතිවරයෙක් පත්වෙයි. ඒක ඉදිරියේදී වෙනවා,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආශීර්වාදය අපිට තියෙනවා, එතුමිය තමයි සභාපතිට විරුද්ධව නඩු පවරන්නේ, මොකද එතුමියගේ පියා ජීවිත ආරක්ෂාවෙන් රැකගත්තු පක්ෂය මව රැකගත්තු පක්ෂය, අපි අවුරුදු දාහතක් විපක්ෂයේ ඉද්දී බලයට ගේන්න කටයුතු කළේ චන්ද්‍රිකා මැතිනියයි. 2015 ත් මේ වෙනස ඇති කළේ චන්ද්‍රිකා මැතිනිය.නැත්නම් වෙන පාලනයක් ඇතිවෙන්න ගියේ. නමුත් ඒ පක්ෂය පසුගිය කාලයේ විනාශ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් පක්ෂයක එල්ලන්න ඕනෙ නෑ. මේක හොඳට කරගෙන ගියොත් අපට ආණ්ඩු බලය ලබාගන්න පුළුවන් හොඳ පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පෙර පක්ෂයේ ඇතුළෙ තියෙන අර්බුද හදාගන්න ඕනේ.
යැයි ද මහින්ද අමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.