දිනසේන රතුගමගේ –
වවුනියාව අධිකරණයේ නියෝග නොතකා දෙමළ වැසියන් විශාල පිරිසක් කළු ඇදුම් ඇද කලුපටි පැළද කළු කොඩි දමා වවුනියාව පැරණි බස් නැවතුම් පල අසල අද ( 4 ) දහවල් දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
නිදහස් දින උළෙල වර්ජනය කරමින් හා ඊට විරෝධය පලකරමින් විරෝධතාවයේ නිරත වූ මේ පිරිස යුද සමයේදී අතුරුදහන් වූ පිරිසට කුමක් සිදු වූයේද දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරව් යනුවෙන් සටන් පාඨ කියමින් මේ විරෝධතාවය දියත් කොට තිබුණි.
මේ විරෝධතාවය පැවැත්වෙන බව මීට දින කීපයකට ඉහතදී පොලීසිය දැනගෙන වවුනියාව අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබුණේ පෙබරවාරි 4 දා වවුනියාවේ කිසිදු ස්ථානයක විරෝධතා පැවැත්වීම තහනම් බව ප්‍රකාශ කරමිනි.
නමුත් විරෝධතාකරුවෝ වවුනියාව මුලස්ථාන පොලීසියට මීටර් 200 ක් පමණ දුරින් හා වවුනියාව අධිකරණ සංකීර්ණයට මීටර් 400 ක් පමණ දුරින් මේ දැවැන්ත විරෝධතාවය දියත් කළේ බලපත්‍ර රහිත ශබ්ද වාහිනී යන්ත්‍රද උපයෝගී කර ගනිමිනි.
විරෝධතාවය පැවති භුමිය වටා විරෝධතාකරුවෝ දැවැන්ත කලු කොඩි දමා තිබුණි.








