ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වන පහසුකම් අඩු පාසල් වල සිසුන්ට තම දස්කම් ඔපවත් කර ගැනීමට පහසුකම් ඇති පාසල් වලට යාමට මෙතෙක් තිබුණු හැකියාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් නිකුත් කෙරුණු චක්‍රලේඛයක් මගින් අවලංගු කර තිබේ.
අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගය අනුව කුඩා පාසලක සිට පහසුකම් සහිත පාසලකට තම ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා කිසිම සිසුවකුට අතර මැද පන්ති වලට යාම තහනම් කර තිබේ.
දරුවෙකුගේ ක්‍රිඩා කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා වුව ද අතරමැද පන්තියකට ඇතුළත් විය හැක්කේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මගින් පමණක් බවට අධ්‍යාපන ඇමතිවරයා ගෙන ඇති මෙම තීන්දුව ඉතිහාසයේ අමනම තීන්දුවක් බවත් ජාතියක් ලෙස ක්‍රිඩාව සංවර්ධනය කිරීමේ දී මේ ආකාරයේ අමනෝඥ තීන්දු ගැනීමට දේශපාලකයින් පෙළඹීමේ අවසන් ප්‍රතිඵලය අත් විඳිනු ඇත්තේ අපේ ජාතිය බවත්, ක්‍රිඩා විශේෂඥවරයෙක් මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සඳහා පහසුකම් සහිත පාසල් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකය දික් විජය කළ අවස්ථා සම්බන්ධව ඕනෑ තරම් අත්දැකීම් අපට ඇත. දමයන්ති දර්ශාගේ සිට ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න වැනි ක්‍රීඩිකාවන් මෙන්ම ලෝක සම්භාවනාවට පත් කුසල් ජනිත්, ප්‍රභාත් ජයසූරිය වැනි ක්‍රීඩකයින් ද රටට අත් කර දුන් ප්‍රමාණය අත් විඳිමින් මේ ආකාරයේ තීන්දුවක් ගැනීමට අධ්‍යාපන ඇමතිවරයා පොළඹවා ඇත්තේ අලුතින් පත්ව ආ අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශයක් මත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ක්‍රීඩා විශේෂඥවරු පෙන්වා දුන්නේ අධ්‍යාපන ඇමතිවරයා මේ ආකාරයේ පටු තීන්දු ගැනීමට පෙළඹවිය හැකි පුද්ගලයෙක් බව ඔහු මවාගෙන සිටින ප්‍රතිරූපය අනුව කිසිවිටෙකත් නොසිතූ බවය.








