මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අද (04) අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස් රථයක් පැහැර ගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩි තැබීමක් සහ පිහි ඇනුමක් ද කොල්ල කෑමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අද නිදහස් දා අළුයම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පලා ගොස් තිබේ. ඔවුන් සෝමාවතිය රක්ෂිතය හරහා සෝමාවතී පුදබිමට ඇතුළු වී එතැන නවතා තිබූ බස් රථයක් පැහැරගෙන පලා යෑමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේ දී රැකවලට සිටි ආරක්ෂකයින් අහසට වෙඩි තබා ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කර තිබේ. ඒ අතර පලා යෑමට සැරසුන මේ රැඳවියන් අසල සිටි අගලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ජංගම දුරකථන දෙකක් සහ රුපියල් පනස් දහසක මුදල කොල්ල කා ඔහු සමග පොරබදමින් සිටිය දී ඔහුට පිහි පහරක් ද එල්ල වී තිබේ.
ඒ අවස්ථාවේ දී ව්‍යාපාරිකයා තම ලියාපදිංචි ගිනි අවියෙන් අහසට වෙඩි තබද්දී ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දෙක, රුපියල් පනස් දහසක මුදල පැහැරගෙන මෙම රැදවියන් පිරිස යළි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙතම ගොස් ඇතැයි දැනගන්නට තිබේ.
පිහි පහර කෑ ව්‍යාපාරිකයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගෙන් අප කළ විමසීමේ සඳහන් කළේ පලාගිය එම සියලු රැඳවියන් මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට බාර වී ඇති බවය.
ප්‍රදේශයේ භාරව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් නිතර රාත්‍රී කාලයේ අඬදබර වී ගැටුම්කාරී තත්ත්වයන් ඇතිකර ගන්නා බවයි. “නිදහස් දවසේ ඔවුන්ට අවශ්‍ය නිදහස ලබාගැනීම සඳහා කඳවුරෙන් පිටවී යන්න ඇති…” ඔහු අප සමග කීවේ කළකිරීමෙනි.
කන්දකාඩුව මේ වනවිට පාලනයෙන් ගිලිහී ඇති තැනක් බවත්, එහි රඳවා ඇති මත්ද්‍රව්‍ය ලෝලීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙමින් ඇති බවත් වාර්තා වේ.







