දිනසේන රතුගමගේ –
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් කපා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තුන් දෙනා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කරන්නැයි දැරියගේ අයිතිවාසිකම් වෙණුවෙන් පෙනී සිටින නීතිඥවරු ඊයේ (11) යාපනය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කොට ඇති කමිටු දෙක විසින්ම ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමැත්තේ සිද්ධියට සම්බන්ධ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට බවට විශාල සැකයක් පවතින නිසා පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියහ.
යාපනය රෝහලේ පාලන අධිකාරිය මෙන්ම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය යටපත් කොට සිද්ධියට සම්බන්ධ පිරිස බේරා ගැනීමට කටයුතු කරගෙන යන බවට සාක්කි විශාල ප්‍රමාණයක් ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.
දැරිය වාට්ටුවට ඇතුළත් කළ අවස්ථාවේදී ප්‍රධාන හෙදිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඊට පිළිතුරු ලබා දෙමින් සිටි බවට ඇසින් දුටු සාක්කි කමිටුව වෙත ලැබී ඇති නිසා යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු පිරිසට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කලත් දැරියට වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ වුණි.
මේ නිසා එම වාට්ටුව බාරව සිටි වෛද්‍යවරිය හෙදිය හා පිරිමි හෙද නිලධාරියා වහාම අත් අඩංගුවට ගත යුතු බවද නීතිඥවරු පෙන්වා දුන්හ.
යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා නොවැම්බර් මස 7 වෙනිදාට පෙර කමිටු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ අතර එදිනට මෙම නඩුව විභාගයට ගෙන අවශ්‍ය වුවහොත් අදාල නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරණ බවද ප්‍රකාශ කළේය.