ලලිත් චාමින්ද –
පොඩි ලැසීගේ සහ කරන්දෙණියේ සුද්දාගේ පාතාල අපරාධ මෙන්ම මත් කුඩු ජාවාරමට එරෙහිව දැවැන්ත මෙහෙයුම් කළ කැපී පෙනෙන පොලිස් නිලධාරියෙක් වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ සිය නිවස ඉදිරිපිට දී හිසට වෙඩි තබා ඝාතනය කළ අපරාධකරු ලෙස සැලකෙන වාද්දුව හෙනගොඩ සංජීව අද (12) අලුයම පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
අද මීටියාගොඩ, මහවත්ත පාර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් මෙම පුද්ගලයා මිය ගොස් තිබේ. තුවාල ලැබූ 42 හැවිරිදි හෙනගොඩ සංජීව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුගිය ඔක්තෝබර් 9 වනදා රත්ගම ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු ස්ථානය පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ද පෙරළා වෙඩිතැබීම හේතුවෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය පවසයි.