පල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ඓතිහාසික සඳගල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ප්‍රධාන සැකකරුවෙක් වූ මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයා වෙත එම සොරකම සම්බන්ධව සැකයකට ලක් වී සිටින ප්‍රබල ඇමතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මව වන ඇමති බිරිය විසින් පොලී කිරීම සඳහා රුපියල් නව කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
මෙම මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයා සහ ඇමති පවුල ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිත බව ද එම ඇමති බිරිය රුපියල් කෝටි අටක් ද ඇමැති පුතා විසින් එක් කෝටි හතලිස් ලක්ෂයක් ද පොලී කිරීම සඳහා ඔහුට ලබා දී ඇතැයි ද වාර්තා වේ.
මේ වන විට සඳගල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දහ අට වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
සඳගල ගලවා ගැනීමට යොදා ගත් බූම් යන්ත්‍රය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් කුලියට ගනු ලැබූ බව කියන්නේ මෙම පොලීකාර ව්‍යාපාරිකයා ය.
කෙසේ වෙතත් සඳගල කොල්ලය පසුපස සිටින බවට දැනට හෙළි වී ඇති ඇමති පුතා සහ මෙම සඳගල කොල්ලය ඍජුව ගලපා ගත හැකි සාක්ෂිකාරයා වන කුලියට දුන්නා යැයි කියන බූම් ට්‍රක් රථය හිමි සම්බන්ධීකරණ ලේකම්වරයා තවම පොලිස් අත්අඩංගුවට පත් වී නැත.
මෙම කොල්ලයේ දී කොල්ලය සදහා ගෙනඑන ට්‍රක් රථයට ආරක්ෂාව සපයමින් පැමිණෙන ඩිෆෙන්ඩර් රථය මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් විසින් කරන ලද මූලික විමර්ශනවල දී ඔවුන් අනුමාන කර ඇත්තේ මෙම පුරාවස්තුව ගලවාගෙන පැමිණ තැන්පත් කරනු ලබන්නේ අරුප්පල මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවසේ බවය.
දුරකථන ජාලවිමර්ශන සහ සීසිටීවී සාධක ඇතුළු සාක්ෂි ගණනාවක් විශ්ලේෂණයෙන් අනතුරුව විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවසේ දින දෙකකට ආසන්න කාලයක් තිබූ සඳගල ඇමති පුතා පැමිණ කොළඹ ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය.
ඒ කාලය පුරාම පල්ලේකැලේ පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කරන්නේ හෝ අදාල ඉදිරි පියවර කිසිවක් ගන්නේ නැත. වාර්තාවන පරිදි පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම හදන්නේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාය.
විමර්ශන නියම මගට යොමුකරගෙන පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය තැනැත්තා වූ එම සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත්තේ ඔහු ඇමතිවරයාගේ පූර්ණ රැකවරණය යටතේ පසුවන නිසා බව වාර්තා වේ.