කිසිදු අමාත්‍යවරයකුට හෝ ඉහළ පෙළේ නිලධාරියකුට විදේශ අමාත්‍යංශයේ අනුමැතියකින් තොර ව නිල විදේශ සංචාර සිදු කිරීම සහ එම රටවලදී ශ්‍රි ලංකා තානාපති සේවයේ පහසුකම් ලබා ගැනීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයට අනුව නිල සංචාර සඳහා විදෙස්ගත වන සියලුම ඇමතිවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් තමන්ට හැකි ඉක්මනින් විදේශ අමාත්‍යංශය අවසරය ලබා ගත යුතු බවට එයින් දන්වා ඇත.
එසේම මින් ඉදිරියට එවැනි අනුමැතිය යටතේ සිදුවන විදේශ සංචාරවලදී පවා ඔවුන් සංචාරය කරන රට තුළ නවාතැන් පහසුකම්, ගමන් බිමන් ඇතුළු ප්‍රවාහන පහසුකම් හෝ ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්ත වෙන් කරවා ගැනීමේදී ශ්‍රි ලංකාවේ තානාපති කාර්යාල එම කිසිදු වියදමක් නොදරන අතර එවැනි අවස්ථාවකදී අදාළ සියලු වියදම් සංචාරයට පෙර විදේශ අමාත්‍යංශය හරහා අදාළ රටේ තානාපති කාර්යාලය වෙත ගෙවා කිබිය යුතු බවටද එමඟින් දන්වා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් 24 වැනිදා දාතමින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මඟින් රජය අරමුණු කර ඇත්තේ සැලසුම් සහගත නොවන අයුරින් සංවිධානයවන ඇතැම් විදේශ සංචාර හේතුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වැය වීම සහ කාලය අපතේ යාම බව සඳහන් වේ.
ඇතැම් විදේශ සංචාර එකක් මඟින් බොහෝ වැඩ කටයුතු සිදු කරගෙන තිබුණද ඇතැම් අමාත්‍යවරුන් එකම කාර්යය සඳහා අවස්ථා ගණනාවක් විදේශ ගමන්වල නියැලී ඇති බවද වාර්තා වී ඇත.
එසේම නව චක්‍රලේඛය මඟින් මින් ඉදිරියට මැති ඇමතිවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික සංචාරවලදී අදාළ රටේ වීසා ලබා ගැනීමට අදාළව ඊට සහය වන කිසිදු කාර්යයකට විදේශ අමාත්‍යංශය හෝ විදෙශ රටවල පිහිටුවා ඇති තානාපති කාර්යාල සහය ලබා නොදිය යුතු බවටද මෙම චක්‍රලේඛය මඟින් දන්වා ඇති බව වාර්තා වේ.
මීට අමතර ව විදේශ රටක් රාජ්‍යයක් සම්බන්ධයෙන්වන කිසිදු ප්‍රකාශයක් විදේශ අමාත්‍යංශයේ දැනුම්වත් බවකින් තොරව මාධ්‍යයට නිකුත් නොකරන ලෙසටද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් උපදෙන් දෙනු ලැබ ඇති බව සඳහන් වේ