පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද්දේ ආගමික අන්තවාදීන් නොව, ආගමික අන්තවාදය අතකොළුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.
බොරැල්ල කනත්තේදී අද පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූවන් වෙනුවෙන් පැවැති අනුස්මරණ දේව මෙහෙයක් අවසානයේදී අදහස් දක්වමින් අගරදගුරු හිමියෝ මේ බව පැවසූහ.
“මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමකට ඇති ආදරයක් හෝ නොවෙයි. තමන්ගේ බලය තහවුරු කරන්නට යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි. අපි ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ලෙස ලැජ්ජාවට පත් වෙන්නට ඕන. කුමන ආගම ඇදහුවත් කුමන ජාතියක වුවත් කුමන භාෂාවක් කතා කළත් තව කෙනෙකුට අතක් උස්සලා වෙනත් පුද්ගලයෙකුට හිරිහැර කරන්න කෙනෙකු පත්වෙනවා නම් එය ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ අවාසනාවන්ත තත්ත්වයෙන් පීඩාවට පත්වූ අපගේ සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔවුන් පැතූ සාමකාමී ජීවිතය උදා කර දෙන ලෙස යාඥා කරමින් කන්නලව් කරමින් අද අපි මේ සිහිවටනය ආශිර්වාද කර විවෘත කරනවා. මේ තුළින් අප රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ආගම වත් භාෂාවවත් ජාතියවත් තවත් කෙනෙකුට හිරිහැර කරන්නට පාවිච්චි කරන්න එපා. ඒ වගේම කරුණාකරලා බලය ශක්තිය පෙන්නන්නට අනෙක් මිනිසුන්ව මරණ ඒ චින්තනයෙන් මිදෙන්න. ඒ විදියට ගියොත් නැත්නම් අපේ රට විතරක් නෙමෙයි අපි මුළු ලෝකයේම අපිරිසිදු අවාසනාවන්ත තැනක් බවට පත් වෙනවා” යයිද අගරදගුරු හිමියෝ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.