ජාතික අක්ෂි රෝහලේ දී පසුගිය 4 වන දා සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතෙන් පසු හෘදය අකර්මන්‍ය වීමෙන් මියගිය කොස්ගොඩ පදිංචි දෙදරු මවක්වන හිමාලි ප්‍රියදර්ශනීගේ මරණයෙන් පසු ඇයට ලබා දුන් නිර්වින්දන ඖෂධ ඛාණ්ඩය භාවිතයෙන් ඉවත්කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සියල්ල පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමුකර ඇති බවයි.
මෙම නිර්වින්දන ඖෂධ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන සඳහන් කළේ, මිය ගිය කාන්තාවගේ හෘදය සීයට අසූවක් පමණ අවහිර වී තිබූ බවය. නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසු ඇයගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වූ බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්වින්දන ඖෂධය ලබා දීම නිසා ම ඇයගේ මරණය සිදු වූ බවට නිගමනය කළ නො හැකි බව සිය ස්ථාවරය යැයි කීවේය.
කෙසේ වෙතත් එම නිර්වින්දන ඖෂධයේ තත්ත්වය පිළිබඳ ඉදිරි පර්‍යේෂණ කටයුතු කිරීමට නියමිත බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.