පහුගිය කාලයේ කවුරු කවුරුත් කතා කළේ ශ්‍රි ලංකාවේ සංවර්ධනයට කොන්ක්‍රිට් වත් තොට සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැනය. ඒ තුළින් මැවෙන සිහින ලෝක චිත්‍රණය විය. තිස් වසරක ත්‍රස්තවාදයෙන් මිදුණු ශ්‍රි ලංකාව මේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති තුළින් විසල් ලොවකට ඇදෙනු ඇතැයි ශ්‍රි ලංකාවේ බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. එහෙත් මේ සිහින ලෝක අද සුදු අලි මවමින් කුඩු පට්ටම් වි ඇත. මේ මහා ව්‍යාපෘති වෙනුවෙන් ණයට ගත් සල්ලි ගැන කලින් කතා කළේ ලෝකයයි. ශ්‍රි ලංකාවේ කාටවත් ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැත. මේ ණය කන්ද සහ ඒ මතින් මැවුණු සුදු අලිත් මේ සුදු අලි මත නැගුණු දේශපාලන සූකරයන් සහ සුදු කරපටිධාරී හොරුන් නිසා රටට වී ඇති වින්නැයහිය අද අපේ රටේ ජනතාවගේ ලේවලටම දැනෙන්නට වී ඇත. නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත හායනයකට ලක්වූ ශ්‍රි ලාංකිකකයෝ අද පැය තිස් හතළිස් ගණන් පෝලිම්වල කල් ගෙවමින් කුසට හරි අහරක් නැතිව අප්‍රාණිකව දිවිය ගෙවති.
මේ මහා ආර්ථික වියවුල හමුවේ ශ්‍රි ලංකාව අද දත නියවා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සල්ලි පිළිබඳව ය. එහෙත් පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි එම අරමුදලේ නියෝජිත කණ්ඩායම කීවේ එක කතාවකි.
පසුගිය 30 වැනිදා මෙම නියෝජිත කණ්ඩායම හ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා අගමැතවරයා ඇතුළු බලධාරීන් හමුවී සියලු කරුණු අධ්‍යයනය කර කීවේ දරුණු ආර්ථික පිරිහීමක සිටින ශ්‍රි ලංකාවට උදව් කිරීමට බලාපොරොත්තු වන බවය. එහෙත් ඒ දුක දෙස බලා නොවේ.
මේ උදව් ලබා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගත යුතු ව ට ඔවුහු එයින් ඉඟි කළහ. එහිදී ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූලික ව අවශ්‍ය වන්නේ කාර්ය මණඩල මට්ටමේ ගිවිසුමකට එලඹීමය. එහෙත් ශ්‍රි ලංකාව සමඟ එවැනි ගිවිසුමකට එලඹීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන්නේ ශ්‍රි ලංකාව පසුගිය කාලය තුළ ණය ලබා ගත් ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යූහගත කරණයකට හෝ කල් දැමිමකට ලක් කිරීම සඳහා එකඟතාවක් දැක්වුවහොත් පමණකි.
මෙම ණය ගෙවීම් යළි ප්‍රතිව්‍යූහගතකරණයක් සම්බන්ධයෙන් මේ වනවිටත් දෙපාර්ශ්වයක් සිය විරෝධය ශ්‍රි ලංකාව කෙරෙහි දක්වා ඇත. මුලින්ම ඒ සඳහා අකමැත්ත පළ කළේ චීනයයි. ඔවුන් ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ගමනේදීම ඊට විරෝධයක් එල්ල කළේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව මූල්‍ය සහනයක් ලබා ගැනීමට නම් ශ්‍රි ලංකාවට ණය ලබා දෙන රටවල් සහ ආයතන සමග ඒවා ප්‍රතිව්‍යූහගතකරණයට එකඟතාවක් ඇති කර ගත යුතු වුවද මේ වනවිට ශ්‍රි ලකාවේ ඩොලර් බිලියන 51ක් පමණ වන සමස්ත ණයෙන් සියයට 10කට වඩා දරා සිටින චීනය එම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ කල් දැමීම කෙරෙහි තවමත් නිශ්චිත වචනයක් ලබා දී නැත. . මේ පිළිබඳව ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා සේම චීන විදේශ අමාත්‍යංශයද වරක් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රි ලංකාවට ආධාර කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් ලබා දුන් ණය තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. මේ පසුබිමේ විවිධ දේශපාලනික සාධකද තිබෙන්නට හැකි වුද ආර්ථික විශේෂඥයන් පවසන්නේ චීනය විසින් මෙතෙක් ණය ලබා දෙන ලද බොහෝ රටවල් ඒවා ආපසු ගෙවීමේ අපහසුතාවලින් පෙළෙන අතර ශ්‍රි ලංකාවට පමණක් එවැනි සහනයක් ලබා දීමෙන් ඔවුන්ගේ සෙසු ණයකරුවන් ද එවැනිම ඉල්ලීම් කළහොත් ඔවුන්ටද අවනත වීමට චීනයට සිදුවන නිසා බව සඳහන් වෙයි. අනෙක වෙනත් කවර කරුණක් තිබුණද මේ කරුණ තාර්කිකව ඉදිරියට දැමීමට චීනයට “සෛද්ධාන්තික“ හැකියාවක් ඇත.
ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් එල්ල වී ඇති දෙවැනි අභියෝගය වන්නේ ඇමෙරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව ඔවුන් විසින් ශ්‍රි ලංකාවට ලබා දෙන ලද ඩොලර් මිලියන 250ක සංවර්ධන බැඳුම්කර කල් පිරෙන ජූලි මාසයේ නිශ්චිත දිනයට අදාල මුළු මුදල සහ පොලිය සමඟින් ගෙවිය යුතු බවට ඉල්ලා ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ ශ්‍රි ලංකාවට එරෙහි නඩුවක් ගොනු කිරීමය මේ වනවිට රජය මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කණ්ඩායමක් පත් කර ඇත.
මේ තත්ත්වයන් දෙකම ශ්‍රි ලංකාවේ ගෙල සිරකරවන තරමේ බරපතල කතා දෙකකි. හේතුව ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනිම වගේම එතෙක් යන ගමනේදී ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය ඉන්ධන ඖෂධ ආහාර සහ හොර වැනි අත්‍යවශ්‍යම දුව්‍ය ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට එය බාධාවකි.
ශ්‍රි ලංකාව සමඟ මිත්‍ර ව සිටි ජපානය , වැනි රටවල් උදව් ලබා දීමට තරමක අඩු උනන්දුවක් පවතින අතරේ ඔස්ට්‍රේලියාව වැනි රටවල් උදව් කිරීමට බලාපොරොත්තුව හිඳින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන මඟ පෙන්වීම් මාලාවට අනුව බවට ශ්‍රි ලංකාව වෙත සෘජුවම පවසා තිබුණි. පසුගියදා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඛනිජ තෙල් ගනුදෙනුවක් සඳහා කටාරයට ගියද ආරංචි මාර්ග පවසන්නේ වර්තමාන ශ්‍රි ලංකා රාජ්‍ය නායකත්වය සිටින තාක් කල් ඔවුන්ගේ ණය සහන පදනම මත තෙල් නොලැබෙන බවය.
මෙවැනි තත්ත්වයක් තුළ අපට හදිසි ආධාර ගන්නවා නම් හෝ සහනයක් ගන්නේ නම් ඇත්තේ චීනය පමණි. එහෙත් චීනය ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ රජයට පෙර තිබූ ඇඟෑලුම හෝ බැඳියාව මේ වනවිට අඩු කර ඇති බව පැහැදිළිය. යම් ආක්‍රමණශිලී බවකින් යුතුව හැසිරුණු චීනය දැන් සිය මිත්‍රත්වයේ නාමයෙන් කරන සුළු සුළු පන්නයේ උපකාර හැරෙන්නට රට ආර්ථික ක්ලාන්ත කෝමා තත්වයට හැරීම වළක්වන්නට අවශ්‍ය සේලයින් දෙන්නට හෝ සහන පවන් සලන්නට සූදානම් නැත. ඊට හොඳම නිදසුන චීනය මෙම ආර්ථික අර්බුදය ආරම්භයේදී ලබා දුන් ඩොලර් බිලියන 1.5ක වටිනා ණය යෝජනා ක්‍රමයයි. මේ පිළිබඳව පුරසාරම් දෙසමින් හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසූයේ චීනයෙන් ලැබුණු මෙම ණය යෝජනා ක්‍රමය සමඟ මෙරට විචෙද්ශ සංචිත ද ඉහළ යාමකට ලක්වූ බවය. එහෙත් මේ ලබා දුන් මුදලින් දෙයක් කරන්නට නොහැකි තරමේ කොන්දේසි වැටී ඇති බවත් ඒ කොන්චේසි ලිහිල් කර ගැනීමට චීනයේ සහය ඉල්ලා ඇති බවත් වර්තමාන අගමැතිවරයා පසු කලක සඳහන් කළ අතර එය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද සනාථ කළේය.
මේ මොහොතේ ශ්‍රි ලංකා රජයට චීනයෙන් අවැසි ලොකුම උදව්ව ඔවුන් විසින් ලබා දී ඇති ලොව ශ්‍රි ලංකාවේ ලොකුම ණය පංගුව වෙනුවෙන් ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වීමය. මෙතෙක් චීනය ඒ සම්බන්ධයෙන් කිසිවක් කියා නැත. එහෙත් මේ ණය උගුලක් ලෙස භාවිත කර වෙනත් කලාපීය බල තුලනයේ විසල් කාර්යභාරයක් වෙනුවෙන් ශ්‍රි ලංකාව අවනත කරවා ගැනීමේ කොන්දේසියක් ලෙස මෙය පාවිච්චි කරයිද යන සැකයද මේ වනවිට නිර්මාණය වී ඇත.







