ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ගැන අද (12) හිමිකරුවෝ මාධ්‍යයට හෙළිදරව් කළහ. මේ හෙළිදරව්ව නිල වශයෙන් සිදුවූයේ අද දහවල් 12ටය. එතෙක් මැණිකගල තැන්පත් වී තිබුණේ හොරණය.
ඇයව නම් කර ඇත්තේ ආසියාවේ රැජන ලෙසය. දැන් අප කවුරුත් දන්නා පරිදි මැණික් ගලේ බර කිලෝ ග්‍රෑම් 310කි.
ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) වූ මේ නිල් මැණික් ගලේ හිමිකරු චමිල සුරංගය. ලෝකයේ විශාලතම තනි මැණික් ගල හිමි සමාගමේ හිමිකරුවා ඔහුය. චමිලගේ ආයතනය ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ය.
චමිල අපට කියන්නෙ මෙවැනි කතාවකි.
“ ඇත්තටම මේ ගල අපි ලෝකයට ඉදිරිපත් කරන්න හේතු වුණේ රට දැන් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා. අපි බලාපොරොත්තු වෙනවා මේක ඉහළ මිලකට ලෝකයේ ගැණුම්කරුවෙකුට ලබාදෙන්න. මේකට ඉදිරිපත් වෙන ඉහළම මිලට ඒක අලෙවි වෙයි.“
මේ මැණික් ගලේ ව්‍යුහාත්මක ස්වරූපය ගැන චමිල අපට විග්‍රහ කරන්නේ මෙසේය.
“ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේ ගල හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය.“
“මේකෙ නිල් පැහැය තියෙනවා. සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 310ක්. අපි හිතමු කිලෝග්‍රෑම් 1ක් මේකේ Blue Sapphire තිබ්බොත් ඒකේ වටිනාකම ඩොලර් මිලියන 100ක් විතර වෙයි. නමුත් මේකෙ කිලෝග්‍රෑම් 1කට වැඩිය තිබ්බොත් ඊට වැඩිය ලොකු වටිනාකමක් ගන්න පුළුවන්.“
“මේක ලැබුණාම අපිට විවිධ යෝජනා ආවා මේක කපලා ඇතුළේ තියෙන නිල් ටික බලන්න. මා හිතන්නෙ මේක කපලා කොටලා මේක ඇතුළේ තියෙන නිල් ටික ගන්න එක නෙමෙයි වැදගත්. මේ වගේ දේවල් ලෝකෙ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ලංකාවේ. ආභරණවලට දාන්න පොඩි මැණික් ඕන තරම් හම්බවෙනවා. මේක කෞතුකාගාරයකට තමයි වටින්නේ. අනාගත පරපුරට බලාගන්න. “
ඔහු කියන්නේය.
මේ මැණික් නිධිය හම්බවී ඇත්තේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයෙනි. ඒ බව කියන්නෙ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියය. එහෙත් මේ මැණික් නිධිය හමුවූ ස්ථානයේ තවමත් ගවේෂණ සිදුවෙමිනි. ඒ හේතුවෙන් මැණික හමුවූ ස්ථානය පිළිබඳව හෙළි කිරීමට ඔවුන් ඉක්මන් වන්නේ නැත.
ලොව විශාලම තනි මැණික හිමි ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ලංකා මැණික් පර්යේෂණ කරන ආයතනයකි. මැණික්වලට සහතික දෙන සහ සේවා සපයන ආයතනකි. ඔවුන් ආසියාවේ රැජන සමග බලාපොරෝත්තු සහගතවය.






