සම්පත් සිරිවීර –
සංසාරයේ මහා ගැඹුරු පදරුත් සොයා භාවනානුයෝගීව වැඩ වාසය කිරීම අරමුණු කරගත් තපෝ ගුණ පූර්ණ දේශීය හිමිවරු මෙන්ම ලංකාවට වැඩම කරන විදේශීය බෞද්ධ හිමිවරුද මහා වීර්යයන් සහිතව ආරණ්‍යගත වෙති. උන්වහන්සේලා සුළඟ සේ අප්‍රකටය. වන අරණක ආත්මය තුළ ගිලී ගොස් එහිම අනාගන්තුව ඊට මුහු වන්නෝය.
මේ මහා අසිරිය දුටුවෙමි. අත් වින්දෙමි. සහශ්‍ර දෙකක ඉතිහාසයේ එක් වකවානුවක අප්‍රමාණ සිල් සුවඳ විහිදුන පුදබිමක් වූ කුඩුම්බිගල සෙනසුන වටා පැතිර ගිය භාවනුයෝගී භික්ෂූන් වැඩ වාසය කළ ලෙන්වල අප්‍රකටව බවුන් වඩන උන්වහනසේලාගේ වීර්යය පූර්ණ ජීවිත මවිත කරන සුළුය.
ඒ හිමිවරුන්ගේ අධ්‍යාත්මික චින්තාව ඇත්තේ මහා පුරුෂයින් සේ සිතා සිටිනා බොහෝ ලෞකික මනුෂ්‍යයන්ගේ සිතිවිලි මානයටත් අතිශය ඔබ්බෙනි.

උන්වහන්සේලා අපට හමුවන්නේ කුඩුම්බිගලට දුරින් කුමණ ජාතික වනෝද්‍යාන්යේ බඹරගස්තලාව ශිඛරය අසලදීය. ඒ විසල් ගල් පව්ව ඉතිහාසය පුරා හිමිවරුන් බවුන් වැඩූ ලෙන් ආරාම සහිත පුදබිමක පුරාවිද්‍යාත්මක සලකුණු තබා ඇත. ඒ ලෙන් මේ වනවිට වග වලසුන්ගේ ලැගුම් බිම්ය. කුමණ වන අරණ තුළ සරන විසල් කොටියා ද මේ ලෙන් භූමිය වාසස්ථානකොට ගත්තෙකි. අනෙක් බොහෝ ලෙන්වල වලස්සු වාසය කරති. ඒ අතරේ අත්හැරුණු ලෙන් තුනක හිමිවරු තිදෙනෙක් බවුන් වඩමින් උන්හ. උන්වහන්සේලාගෙන් එක් හිමිනමක් විදේශික හිමි නමකි.
උන්වහන්සේලා දන් වළඳන්නේ දිනකට එක් වේලකි. ඒ සඳහා කිලෝ මීටර 9ක් දුරින් ඇති කුඩුම්බිගලට ඒ හිමිවරු උදෑසන වැඩම කරති. යළි වඩින අතර පසුකර එන දිය කෙම්වලින් පෙරා ගත් පැන් කලයකින් පැන් පවස නිවා ගනිති. ආවරණයක් රහිත ලෙන්හි වැඩ වාසය කරමින් මුළු කාලයම බවුන් වඩති. පැය කීපයක් එම ලෙනෙහිම සැතපෙති.
දකිනවුන් නිවා සැනහිය හැකි වචනයට නැගිය නොහැකි මහා උපශාන්ත දැකුම් සහිත ඒ හිමිවරුන්ට මේ බිමේ සැරිසරන එකම වන සතෙකුගෙන් හෝ හානියක් නොවේ. කුමණ මහ කොටියා පනින්නට ගොස් මග හැර ගිය භාවනුයෝගී හිමිනකම වැඩ වාසය කරන්නේ මේ ලෙන් ආරමයේය.
“කිසිම බියක් ඇති වුනේ නෑ මට. මම ඉතිපිසෝ ගථාව මුමුණමින් හිටියා. ඒ සතා පනින පිම්ම අත්හැරලා මගේ ලඟින් යන්න ගියා…” උන්වහන්සේ කීහ.

එකිනෙකට මීටර 400කට නොවැඩි දුරකින් පිහිටි ලෙන් ආරාම තුනක විදෙස් හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් මේ වනවිට බවුන් වඩමින් සිටිති.
මේ බිම දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. එම භූමිය දැඩි රක්ෂිතයකි. මනුෂ්‍ය ක්‍රියාකාරකම් තහනම්ය. එහෙත් මේ භාවනුයෝගී භික්ෂූන්වහන්සේ මේ වන අරණෙහිම අධ්‍යාත්මය හා බැඳෙමින් කිසිම දෙයක් හා නොබැඳී අරමුණුගතව හිඳී නම් එ් තත්ත්වයන් ජාතියක් විසින් රක්ෂා කළ යුත්තේ ඉතිහාසගත උරුමයක ජීවමාන ස්වරූපය එය බවට වූ දෘෂ්ඨිය ද සමගය.
අප මේ කියන කතාව සංස්කෘතික ඇමති ආචාර්ය සුනිල් සෙනවි සහෝදරයාට බර වැඩි විය යුතු නැත. උරුමය මහා පරාසයක් තුළ පැතිරී යන්නකි. නිස්සරණාධ්‍යාශයෙන් වනගතව සංසාරික බැඳීම් වලින් මිදී නිර්වාණ සාක්ෂාත් කරගැනීමේ අභිලාෂ සහිතව බවුන් වඩන හිමිවරුන්ගේ කුලකයක් මේ රටේ ඉතිහාසය පුරාම උන්හ. තවමත් එම පරපුර ජීවමාන කරන හිමිවරුන්ගේ අප්‍රකට ජීවිත අප හඳුනාගෙන නැත. එය අපට නෑසෙන මානයකට විතැන් වූයේ කෙසේ දැයි අප අප විසින්ම විමසා ගත යුතුව ඇත්තේ සංස්කෘතික ශික්ෂණයක් ලද ජාතියක් ලෙසය.

මේ වන දහනේ බවුන් වඩන හිමිවරු පැන් පහසුව හැර වෙන කිසිවක් නොපතති. එහෙත් පවතින නෛතික පරිසරය තුළ එවැන්කට ඉඩක් නැත. මේ බිමට නුදුරින් නල ළිඳක් බදු ජල පහසුව සපයන ජල මූලාශ්‍රයක් අවම මැදිහත්වීමකින් සලසා දිය නොහැකි තරම් අප නෛතික මනුෂ්‍යයින් ද?. අපට එය කර දිය නොහැක්කේ ඇයි?. අප විසින්ම විමසා බැලිය යුතුය.
මහා අධ්‍යාත්මික උරුමයක් ආරක්ෂා කරගෙන සජීවී කිරීමට හැකි අවස්ථාව විධග්ධ ලෙස කළමනාකරණය කරගෙන සමාජයක් ඉදිරියේ අසීමිත ගෞරවයකට පත් විය හැකි අවස්ථාවක් ආණ්ඩුවකට උදාවන්නේත් කලාතුරකිනි. දැන් ඒ අවස්ථාව මේ රටේ සංස්කෘතික ඇමති සහෝදරයා ඉදිරියේ තිබේ. ඔහුට එය එම බරින් ගත හැකි පෞරුෂයක් තිබේ යැයි විශ්වාස කරමු.







