ලොකු කුමාර විසිනි –
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම්හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ඒ ගීතයෙන් පැවසෙන්නේ බෝගම්බර සිර ගෙදර මරණ දඬුවමට නියමව සිටින සිරකරුවකුගේ ශෝකාලාපයයි.
බෝගම්බර හිර ගෙදර ගැන සඳහන් කරන විට අප මතකයට එන්නේ මරු සිරාය. දෙද්දුව ජයතුංගලා ගේ සිරිපාල නොහොත් මරු සිරාය. ඔහු ඒ 1975 වසරේ අගෝස්තු මස 5 වැනිදා බෝගම්බර හිර ගෙදරදී එල්ලා මරා දමන ලදී. මරු සිරා මරණ දඬුවමට පෙර රඳවා තිබුණ සිර කුටියේ මේ කවිය ලියා තිබුණ බව පැවසේ.
රන් මැණිකා මගෙ ළඟ සිටි එකම පණ
හෙට උදයේ අටට නිම වෙයි මගේ පණ
අහිතක් නොසිතන්න මා යන ගමන ගැන
දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන
එල්ලා මරා දැමෙන තුරු මරු සිරා සිය බිරිය වූ රන්මැණිකාට හා දරුවාට මුළු සිතින්ම ආදරය කළ බොහෝ කයි කතන්දරවල සටහන්ව තිබේ.

දළදා තේවාව පවා ඇසෙන මානයේ පිහිටා තිබෙන බෝගම්බර සිර ගෙදර පසුගිය ආණ්ඩුව සමයේදී සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සැළසුම් කෙරිණි. ඒ සඳහා එහි රඳවා සිටි නේවාසිකයන් පල්ලකැලේ ඉඳි කරන ලද හිර ගෙදරට මාරු කර යවන ලදී. බෝගම්බර හිර ගෙදර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා වසර 50 ක කාලයකට බදු දීමට ජාජබ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබා දෙන ලදී. ඒ සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
“නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගමබර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය අඟහරුවාදා (03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කිවේය.
ලෝක උරුමයක් වූ බෝගම්බර ඉතිහාසය කෙටියෙන්…
බෝගම්බර හිර ගෙදර ලෝක උරුම සංරක්ෂණය කර ඇති වටිනා දේපොළකි. අක්කර 11 ක පමණ භූමි භාගයක පැතිරී තිබුණ මෙරට දෙවන විශාලතම හිර ගෙදර බෝගම්බර හිර ගෙදරය. මෙරට විශාලතම හිර ගෙදර ලෙස සැළකෙන්නේ වැලිකඩ හිර ගෙදරය.
බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුවේ බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් එන්.ආර්.සෝන්ඩර්ස් විසිනි. ඒ 1876 වර්ෂයේදීය. ඒ අදට අවුරුදු 149කට පෙරය. බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ ප්‍රංශයේ බැස්ටීල් හිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට බව සඳහන් වේ.

දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද සහිතව එකම අත්තිවාරමේ මේ විශිෂ්ට ගොඩනැගිල්ල පිහිටුවා ඇත. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බ්‍රිතාන්‍ය මහ රැජනගේ ඔටුන්නේ හැඩයට ඉදි වී ඇති බෝගම්බර හිර ගෙදර මහල් තුනකින් හා සිර මැදිරි තුන් සිය විසි අටකින් සමන්විතය.
ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් පසුව ගොඩ ගැසූ ස්ථානය හිරගෙදර ඇතුළත ඇති බව සඳහන් කෙරේ. අතීතයේදී මහනුවර වැව පිහිටා තිබී ඇත්තේ මේ හිර ගෙදර ඉඳි කරන ලද භූමියේය. පසු කලෙක මහනුවර වැව ගොඩ කර හිර ගෙදර ඉඳි කරන ලද බවත් පැවසේ.
අතීතයේ මෙරට දේශපාලනයේ නිරතව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකුම බෝගම්බර හිර ගෙදර රඳවා සිට ඇති බවද ඉතිහාසයේ දැක්වේ. දෙවන ලෝක සංග්‍රාමයට එරෙහිව ලංකා සම සමාජ පක්ෂය මෙරට ගෙන ගිය මතවාදය නිසා එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නම් කෙරිණි. ඉන් අනතුරුව ලංකා සමාජ පක්ෂයේ නායකයන් වූ ආචාර්ය
ඇන්.ඇම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා , එඩ්මන් සමරක්කොඩි අත් අඩංගුවට ගෙන බෝගම්බර හිර ගෙදර විශේෂ සිර මැදිරියක රඳවන ලදී. 1947 අප්‍රේල් 07 වන දින මධ්‍යම රාත්‍රියේ හිර ගෙදර රාත්‍රී රාජකාරියේ නිරතව සිටි සොලමන් නම් ජේලර් වරයාගේ උපකාරයෙන් මේ පිරිස ඉන් පලා යන ලදී. මේ පිරිස පලා ගියේ ඉන්දියාවටය.
1876 වර්ෂයේ සිට 1975 වර්ෂය දක්වා බෝගම්බරදී එල්ලා මරා දමන ලද සිරකරුවන් සංඛ්‍යාව 524 කි. අවසන් වතාවට මෙහි එල්ලා මරා ඇත්තේ තිස්මඩ ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදි කරුවන් වූ ඩබ්.ඩී.රිචඩ් හා ටී.එම්.ජයවර්ධන නම් අයවළුන්ය.
බෝගම්බර සිර ගෙදර හා බැඳුන සාහිත්‍යය
ඒ.ආර්.පී.ජේමිස් අප්පුහාමි නම් පුද්ගලයකු 1947 වර්ෂයේදී බෝගම්බර සිර ගෙදර පිළිබඳව “සිපිරි මාලය” නම් මාල කාව්‍ය සංග්‍රහයක් පල කර තිබේ. මේ මාල කාව්‍ය සංග්‍රහයේ කවි 95 ක් ඇත. මේ කවියා බෝගම්බර සිර ගෙදර සිර දඬුවමක් විඳි අයෙකු බව මේ කවි කියවන විට වටහා ගත හැකිය. කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය පිනිස සිපිරි මාලයේ කවි කිහිපයක් තැනින් තැනින් ගෙන මෙසේ පල කරමු.
පස් මරු බිඳ බුදුව ලෙව් සතට වැඩ කළේ
රැස් කර කුසල් මොක් පුරයට ගොඩක් කලේ
දොස් දුරලමි ගෙන මුනිඳුන්ගෙ පින් බලේ
විස්තර කියමි බෝගම්බර සිර සාලේ
මැන්නේ සේරුවක් බත් එක තැටිය කට
දුන්නේ ගම්මිරිස් ලුණු සමඟ එක් කොට
වන්නේ මෙදුක මම පෙර කල පව් වලට
කන්නේ බත් නොවෙයි අම්මේ කඳුළු කැට
හපලා කන්ඩ බැරි බත් ටික ගල් එක්ක
උයලා ලබු හොද්ද දිය කළ කහ එක්ක
අනලා ගම්මිරිස් ලුණු කුඩු කර එක්ක
කාලා ඉන්ට බැරි දනවා මගෙ බොක්ක
දදා පපුව කුස යට ගිනි ඇවිලෙනවා
එදා බඩ ගින්නෙ නිතරම පිබිදෙනවා
විඳා මෙදුක කිකලක අපි ගැලවෙනවා
නිදා ගන්ට බැරි බලු මැක්කෝ කනවා
කරුම අපි කරපු පූරුවෙ ගෙවන්නට
කෙරුම නිමක් නැති ලෙස ඇත අපට
අරුම මව් පියොත් ඇත ඇස දකින්නට
උරුම වෙන්ඩ තිබුනද හිරගේ අපට
දුක බලනට කිසිවෙක් නැත අප අතරේ
වද දෙන්නට ජේලර් එති සැරින් සැරේ
වැඩ ගන්නට බොහොම කැමතිය තිර සාරේ
හිර වෙන්නට නොපතන් මින් මතු වාරේ
කියනා මෙපද වල කවි දොස් නොගනිල්ලා
විඳිනා මෙදුක දැන ගෙන ලොව සියල්ලා
වසනා හැම දනන් වෙත මෙත් සිත් ගල්ලා
නොයනා ලෙස සිපිරි ගෙට කල් ඇරපල්ලා
ජාර ගණන් දිග ඇති ඉණි කුණු ගොල්ල
නෑර ඔවුන් ඇඳි වත් වල දැවටිල්ල
කාට කියන් මේ දුකසේ පැමිණිල්ල
ඊට උඩින් මදුරන්නේ කෙඳිරිල්ල
අඳුරු කැලෑවක ගෝසා ඇත පේමේ
සොඳුරු නුරා බස් දුන්නා වැනි මහිමේ
පඳුරු ලලා ලියලන්නා වැනි මහිමේ
මදුරු රැලා ලේ බොන්නා බුදු අම්මේ
දීලා කකුල් දෙක හොඳටම තද වෙන්නා
කාලා ඉනිකුනෝ ඉනවට වන වෙන්නා
බීලා කිවුල් දිය මගෙ බඩ දඟලන්නා
විඳලා මෙදුක දෙවියනි මගෙ පන යන්නා
දුකින් සිර ගෙදර ඉඳගෙන කවි කෙරුය
බතින් බුලතින් අඩු කම් නිම් නැතිය
සිතින් සිතට එනකොට පන යනවාය
දුකින් කියා නිම කලෙ සිපිරි මාලය







