අමායා උඩුවැරැල්ල –
ආක්ටික් සිර කඳවුරු භූමියේ සිටිය දී විෂ ශරීර ගත වීමකින් හදිසියේ මියගිය ඇලෙක්සි නවාල්නිගේ දේහය හෙට (01) එනම් සිකුරාදා දින මොස්කව් හිදී මිහිදන් කිරීමට නියමිත බව ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මොස්කව් දේවස්ථානයේ සමු ගැනීමේ මෙහෙයෙන් පසුව බොරිසොවොස්කෝයි සුසාන භූමියේ දී දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති. නවාල්නි හැඳින්වෙන්නේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ හොඳම විරුද්ධවාදියා ලෙසයි.
බොහෝ ලෝක නායකයන් මෙන්ම මේ මරණය සම්බන්ධව නවාල්නිගේ වැන්දඹු බිරිඳ රුසියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ලකර තිබෙනවා.”පුටින් මගේ සැමියා මැරුවා. ඔහුගේ අණ පරිදි ඇලෙක්සි වසර තුනක් තිස්සේ වධ හිංසාවට ලක් වුනා. ඔහු කුඩා ගල් කුටියක කුසගින්නේ සිටියේ. පසුව බාහිර ලෝකයෙන් ඔහු ඈත් වුනා. දුරකථන ඇමතුම් , ලිපි පවා ප්‍රතික්ෂේප කලා.” යැයි ඇය යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසා සිටියා.
තම සැමියාගේ මරණයෙන් දින 12 ක් තුළ ඔහුගේ බිරිය යුලියා නවල්නායා රුසියාවේ විපක්ෂයේ නායකත්වය භාර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ ඇය ඔහුගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන බව පවසමින්.
බදාදා යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කළ දේශනයකදී ඇය කියා සිටියේ අවමංගල්‍ය උත්සවය සාමකාමී වනු ඇත්ද නැතිනම් අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනීවිද යන්න තමා නොදන්නා බවයි. පසුගිය පෙබරවාරි 16 වන දා සිදු වූ නවාල්නිගේ මරණයෙන් පසු රුසියාව පුරා ඔහු වෙනුවෙන් මල් රැගෙන ශෝකය පල කල පුද්ගලයින් 400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව මානව හිමිකම් සංවිධානය පවසනවා. සිකුරාදා පැවැත්වීමට නියමිත ඔහුගේ අවමංගල්‍ය කටයුතු ද දැඩි පොලිස් ආරක්ෂාවට යටත් කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබෙනවා.
රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු දක්වන ආකාරයට ඔහු බදාදා දිනයේ දී නවාල්නි ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත සුසාන භූමියේ පොලිස් මුර සංචාරයන් තුනක් දැක තිබෙනවා. කෙසේවෙතත් නවාල්නි ගේ අනුගාමිකයන් විසින් ක්‍රෙම්ලිනයට චෝදනා කර ඇත්තේ වැඩි පිරිසකට නවාතැන් ගත හැකි ශාලාවක වෙනම සිවිල් අනුස්මරණ සේවාවක් සංවිධානය කිරීමට ඔවුන් දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බවටත්, දිනකට පෙර නවාල්නිගේ දේහය භූමදාන කිරීමේ සැලසුම් අවහිර කළ බවටත් ය.
නමුත් ක්‍රෙම්ලිනය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.