සම්පත් දෙණිපිටිය-
මිනිසුන් හිතන පතන විදිහ ලෝකය වෙනස් කරනවා. මේ ඔබට කියන්නෙ ඇසිය යුතුම අසිරිමත් කතාවක්…
තමන්ගෙ විවාහය වෙනුවෙන් ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 20ක මුදල වියදම් කරලා ඉන්න හිටින්න තැනක් නැතිව හිටිය අසරණ පවුලකට ගෙයක් හදා දී තමන්ගෙ විවාහය පුංචි කටරන් මඩුවක ලියාපදිංචි කළ අසීමිත හිතක් සහිත තරුණ යුවලක් වටායි ඒ කතාවෙන් කියැවෙන්නෙ.
ඒ දරු පවුලට නිවාසය භාර දී මේ තරුණ යුවල ගේ ඉදිරිපිට තැනූ ටකරන් මඩුවක ස්වකීය විවාහය ලියාපදිංචි කළා. පසුගිය බදාදා (20) දිනයේ සිදු වූ මේ අසිරිමත් මානුෂික පෙළහර පෙළ ගැසුනෙ මෙහෙමයි.
චමත් බුද්ධික ලේකම්ගේආරච්චි පදිංචි වෙලා ඉන්නේ මාතර අකුරැස්ස ඌරුමුත්තේ. චමත් බැංකු නිලධාරියෙක්. සේවය කරන්නෙ දෙනියාය මහජන බැංකුවේ. චමත්ගෙ අත ගන්න සූදානමින් සිටි ඔහුගේ පෙම්වතිය මාතර ඉසදීන් නගරයේ පදිංචි හරිනි හේවාපතිරණ. හරිනි ආයුර්වේද වෛද්‍යවරියක්.
චමත්ගේ පියා සහ මව ජාතික ගමනාගමන මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ගිය අය. හරිනිගෙ මව විශ්‍රාමික විදුහල්පතිනියක්. දෙදෙනාගෙ විවාහය මහා ඉහළින් සමරන්න දෙපාර්ශවයම හරි හරියට සූදානම් වෙමින් හිටියෙ. විවාහ උත්සවය පවත්වන්න හිටියෙ දකුණු පළාතේ ඉහළම පැලැන්තියෙ හෝටලයක.
එහෙත් චමත් කල්පනා කළේ වෙන විදිහකට. එක දවසකට මේ මුදල් වියදම් කරලා බොරු සාටෝපය ලෝකයට පෙන්වන් සිහින උත්සව පැවැත්විය යුතු ද?. ඒ මුදලින් දරු පවුලකට මුලු ජීවිත කාලයක් ජීවත් වීම සඳහා පදනමක් නිර්මාණය කර දිය නොහැකි ද?. ඔහු මේ ගැන සිය අනාගත සහකාරිය වුණු හරිනි එක්ක කතා කළා. චමත්ගෙ අදහසට හරිනි එකඟ වන්නේ එක පයින්.
ඉන් පස්සෙ දෙන්නම යන්නෙ ඌරුමුත්ත ග්‍රාමසේවක හම්බුවෙන්න. ඒ ප්‍රදේශයේ අසරණ දරු පවුලක් සොයා දෙන ලෙස ඉල්ලන්න. ග්‍රාමනිලධාරීවරයා ඔවුන්ට තෝරා දෙන්නෙ මීට වසර තුනකට පමණ පෙර පියා මියගිය දරුවන් තිදෙනකු සිටින අසරණ දරු පවුලක්.
මේ පවුල වෙනුවෙන් නිවසක් හදා දෙන්න මේ තරුණයා සහ තරුණිය තීන්දු කළා. ඒ තමන්ගෙ විවාහයට එකතු කරගත්තු මුදලින්. මීට මාස දෙකකට පෙර ඔවුන් ඒ නිවස හදන්න පටන් ගත්තා.
පෙරේදා පුර පසළොස්වක පොහෝ දිනය. එදා තමයි මේ අපූරු යුවල විවාහ ප්‍රාප්ත වෙච්චි දවස. ඔවුන් විවාහය ලියාපදිංචි කළා සුබ මෙහොතින්. ඔවුන්ගේ විවාහය වෙනුවෙන් එකතුකළ මුදලින් තැනූ නිවස ඉදිරිපිට තැනූ පුංචි මඩුවක මේ ආශීර්වාද ලත් මංගල කටයුත්ත සිද්ධ වුණා. අනතුරුව පෙරේදා මේ දරු පවුලට ඒ නිවස භාර දුන්නා.“
නිවෙස් ලාභී තරුණ වැන්දඹු මව ඒ.ජේ.රසිකා. ඇය තිදරු මවක්. මේ පරිත්‍යාගය ඇයට අදහා ගන්න බෑ. ඇය හිටියෙ සිනාවෙන්න ද මේ සතුට දරගන්න බැරිව අඬන්න ද නොදැන.
“අනේ මේ ලෝකෙ දෙවිවරු ඉන්නවා කියලා මං දැනගත්තෙ මෙතුමන්ලගෙන්… “ඇය ඔවුන් ගැන කීවේ එපමණයි. කඳුළු පිරී කොපුල් දිගේ රූරා වැටෙන්න පටන් ගත්තා…
“ලොකු දුව 9 පන්තියෙ ඉගෙන ගන්නෙ. දෙවැනි දුව මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙ කරනවා. පුතා තවම මොන්ටිසෝරි යන වයසෙ. මට ඉගෙන ගන්න බැරි වුණා. මම හිතාගෙන හිටියෙ මොන දුකක් විඳලා හරි දරුවන්ට උගන්වනවා කියලා. මට දැන් ජීවිත කාලෙම වැටිලා ඉන්න තැනක් තියනවා. දැන් ලොකු විශ්වාසයකින් මේ දරුවොන්ගෙ අනාගතය ගැන හිතන්න පුලුවන්.“
ඇයගේ ජීවිතයේ අඩක් විසඳිලා තිබුණා. එය ඇයගේ ඇස්වල ලියවිලා තිබුණා.
ලෝකයට පෙනෙන්න එක දවසක පැය කීපයක් වෙනුවෙන් තියන සල්ලි විනාශ කරලා දාලා ඒ මොහොත සිහි කරමින් ජීවිතේ ඉතිරි කාලය ගෙවා දමන දිළිඳු මානසිකත්වයක් සහිත සාතිශය බහුතරයක් ඉන්න සමාජයක මේ තරුණ යුවලගේ අභිමානය ඔවුන් සතු පෞරුෂය ගැන ඔබ මොහොතකට කල්පනා කළා ද?.
කුසගින්නෙ කාණුපල්ලේ අපේම ජන කොටසක් මියැදෙන්න නියමවෙලා තියන රටක් සමෘද්ධිමත් කරන්න අවශ්‍ය එක් සිතිවිලි මාත්‍රයක් පමණයි. ඔවුන් රටට කීවේ ඒකයි.
අනෙකා ගැන හිතන්න… ලෝකය ලස්සන වෙනවා සත්තයි…