ඉඳුනිල් කහටපිටිය –
ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වූයේය. ඒ බව ලියා තබන්නේ වේදනාවෙනි. මිය යන විට ඔහු 77 වැනි වියේ පසූ වූයේය.
ලයනල් වික්‍රම යනු වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මහා වික්‍රමයක් විශිෂ්ඨයෙකි. ටෙලිනාට්‍ය 200කට වඩා වැඩි ප්‍රමාණයක ඔහු රංගනයෙන් දායක වුනේය. ඇල්ල ලඟ වලව්ව, මායා දේවි, වැනි ටෙලි නාට්‍යවල ඔහු කළ රංගනය සම්බන්ධව ඇගයීම් ඇත්තේ අපේ දරුවන්ට නොව ටෙලි කලාව කුමක්දැයි මුලින්ම හඳුනාගත් අපේ පරම්පරාවටය.
මහාමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක් ලෙස රැකියාව කළ ලයනල් වික්‍රම රංගනයට පිවිසෙන්නේ ඔහුගේ හොඳම මිතුරෙක් වූ මහා මාර්ග දෙපාර්තමේන්තුවේම ගබඩා පාලකයෙක් ලෙස සේවය කළ සෝමසිරි දෙහිපිටිය නිසාය. ඔහුගේ පෙළඹවීම මත මුලින්ම ලයනල් වික්‍රම රංගනයට පිවිසෙන්නේ තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ චිත්‍රපටයේ බේබි මහත්තයා ලෙසය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 28කි.
අනතුරුව ඔහු අතිශය ජනදාරයට පත් ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වූ සාගරයක් මැද චිත්‍රපටයේ හිරගෙදර දොස්තරගෙ චරිතය නිරූපණය කරන්නේය. එමෙන්ම ගාමිණීගේ සක්විති සුවය චිත්‍රපටයට සම්බන්ධ වන්නේය. ධර්මසේන පතිරාජ ගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ රඟපාන්නේය.
ධර්මසේන පතිරාජගේ බොහෝ නිර්මාණවලට රංගනයෙන් මෙන්ම කාර්මික අංශයෙන් ද ඔහු දායකත්වයක් ලබා දුන්නේය. ලංකාවේ හය වැනි ටෙලි නාට්‍යය වූ, ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ ගඟුලෙන් එගොඩට නාට්‍යය ඔහු මුලින්ම සම්බන්ධ වූ නාට්‍යය විය. ඇල්ල ලඟ වලව්ව ටෙලි නාට්‍යයේ හාමු මහත්තයා වන “ආතර් හාමු” චරිතයට පණ පොවමින් ලයනල් වික්‍රම සහෘද රසිකයන් අතර එදවස අමතක නොවන මතකයක් ඉතිරි කළේය.
අනතුරුව ඔහු මේ රටේ සංක්‍රාන්ති සමාජ වකවානුවක ප්‍රභූ සමාජයේ හැල හැප්පීම් සහිත බිඳ වැටීම් රූපණය කරන ප්‍රභූ චරිත රූපණයට ලංකාවේ සිටි අපූරු රංගන ශිල්පියා බවට පත් වූයේය.
ඔහු වඩාත්ම ආකාර්ශනයට පත් වන්නේ බට්ටි ටෙලි නාට්‍යයේ ආටි හාමුගේ චරිතයෙනි. මෙගා ටෙලි නාට්‍යයක් සේ ඇදී ගිය බට්ටී කතාවේ ප්‍රධාන නලුවා වූ රොජ්ර සෙනවිරත්නගේ සහ නිළිය වූ දමිතා අබේරත්නගේ භූමිකාව යටපත් කර මේ සුළු චරිතය කතාව පුරාම මතු වූ අයුරු මතකය. බට්ටී තිර පිටපත ලියැවී තිබුණේ ආටි හාමු කොටස් 20කින් පමණ මිය යන්නට නියමිතවය.
එහෙත් ලයනල් වික්‍රමගේ රංගනය බට්ටී තිර පිටපතද වෙනස් කළේය. ‘ආටි හාමු’ බට්ටී මෙගා ටෙලියේ කොටස් 400ක පමණ රඟපෑවේය.
රැකියාවෙන් විශ්‍රාම ගත් අවස්ථාවේ සිට රංගනය ජීවිතයේ ප්‍රමුඛ කරගත් ලයනල් වික්‍රමයන් 2021 වසරේ දී මුල් වරට හෘදයාබාධයකට ගොදුරු වූයේය. එතැන් සිට විවේකී මෙන්ම ප්‍රවේශම් ජීවිතයක් ගත කළ මේ විශිෂ්ඨයා අද අප අතරින් සමුගෙන ගොස්ය.
ඔහු සමුගන්නේ මේ රටේ නව පරම්පරාවට ඉතිරි වී තිබූ තවත් ජීවමාන රංගාදර්ශයක් අහිමි කරමිනි.