ජයකාන්ත ලියනගේ – බළපිටිය –
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටියේ යැයි සැකපිට විදේශීය රටක නිශ්පාදිත අති නවීන වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය මගින් ඌරගස්මන්හන්දියේදී ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ලබන 18 දින දක්වා පැය 72 ක කාලයක් රදවාගෙන විමර්ශණ නටයුතු සිදුකරන බව ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය කියයි. සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය ඉතා නවීන පන්නයේ ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ගිනි අවියක් බවද අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දියේ පදිංචි දියුණුගමගේ ජීවන් කුමාර ගලගෙදර (39) නැමැති අයයි. සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී මිලී මීටර් 09 වර්ගයේ උණ්ඩ 05 ක් පුරවන ලද ගිනි අවිය සිය ඉනේ සගවාගෙන සිටි බවද පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබී පිටිගල, මත්තක ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් රියදුරු බලපත්‍රයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සදහා සැකකරු සූදානමින් සිටින බවට ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරක් මත පසුගිය දෙසැම්බර් 11 දින සැකකරුගේ නිවස පරීක්ෂා කොට එහි තිබූ පල්සර් වර්ගයේ යතුරු පැදියක් පොලීසියේ භාරයට ගෙන තිබේ.
එම යතුරු පැදියේ අංක තහඩුව හම්බන්තොට, රන්න ප්‍රදේශයේ අයෙකුට අයත් යතුරු පැදියක එකක් බවට විමර්ශණ වලදී තහවුරු වී ඇත. යතුරු පැදියේ චැසි අංකය මීට මාස 06 කට පමණ පෙර කළුතර ප්‍රදේශයෙන් හොරකම් කරන ලද එකක් බවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව තහවුරු වී ඇත. එම යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් තිබෙන බව ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය කියයි. සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශණ කටයුතු සිදු කිරීමේදී සැකකරු ඊයේ (16) ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයන් අළුත්වැඩියා කිරීම සදහා ඌරගස්මන්හන්දිය නගරයේ ජංගම දුරකතන අළුත්වැඩියා කිරීමේ ස්ථානයකට ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු දැනට විදේශගතව සිටිමින් ඌරගස්මන්හන්දිය ප්‍රදේශය කේන්ද්‍රකර මත්දව්‍ය ජාවාරමේ නිරත ඌරගහ ඉන්දික නැමැති අයගේ ගෝලයෙකු බවට මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදි පොලීසිය විසින් තහවුරු කරගෙන තිබේ. ඌරගහ ඉන්දික, මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර තිබෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බවද පොලීසිය කියයි. වැසි අංක සහ අංක තහඩු වෙනස් කරන ලද යතුරු පැදියක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් මෙන්ම නවීන පන්නයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියේ ඌරගහ ඉන්දිකගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් බවත් ඊට අදාල තොරතුරු ලැබී සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් එම ඝාතනය වැලකී ගිය බවත් ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාසය කියයි.
ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශ්‍රී, උප පොලිස් පරීක්ෂකවරුන් වන මෙන්ඩිස් සහ සිල්වා ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ගුණසිංහ ගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කරනු ලබයි.