ජයකාන්ත ලියනගේ – බළපිටිය –
වැලිගම, සිපෙට්කෝ ඉන්ධන පිරවුම් පොළ අසල මාළු වෙළෙද සැලේ හිමිකරු සහ එහි සේවකයා ඉලක්ක කර ගනිමින් සිකුරාදා (15) රාත්‍රී සිදුකරන ලද වෙඩි තැබීම දැනට ඩුබායි හි සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මිදිගම චූටිගේ පාර්ශවයෙන් සිදුකර තිබෙන බවට තොරතුරු ඇතැයි වැලිගම පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සිකුරාදා (15) රාත්‍රී 9.08 ට සිදුකර තිබෙන බවත් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙයින් වෙළෙද සැල් හිමියාගේ තත්ත්වය තරමක් බරපතල බවත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වැලිගම, මුහුදු මාවතේ ‘මමාෂ් ෆිෂ් පොයින්ට්’ හි හිමිකරු එන් කේ චමින්ද කුමාර (40) සහ එම වෙළෙද සැළේ සහයක මහින්ද ගුණතිලක (52) යන දෙදෙනාය.
චමින්ද කුමාර නැමැති අයගේ පපුවේ දකුණු පසට වෙඩි උණ්ඩ 02 ක් සහ මහින්ද ගුණතිලක යන අයගේ වම් උරහිසට වෙඩි උණ්ඩ 01 ක් වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුවාල කරුවන් දෙදෙනා පළමුවෙන් වැලිගම, පිලාන රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි වැලිගම පොලීසිය කියයි.
මාළු මිළදී ගැනීමේ මුවාවෙන් මොවුන් පැමිණ තිබෙන බවත් යතුරු පැදියේ පසුපස සිටි අය විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
ප්‍රදේශයේ සීසීටීවී කැමරා ඉතා සූක්ෂම ලෙස පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද පොලීසිය කියයි. ඒ අනුව වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ පල්සර් වර්ගයේ යතුරු පැදියකින් බවට පොලීසිය විසින් හදුනාගෙන තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ චමින්ද කුමාර නැමැති අය සමග ‘මිදිගම චූටි’ නැමැති අයගේ දීර්ඝ කාලීන ආරවුලක් තිබෙන බවත් ඒ නිසාම ‘මිදිගම චූටී’ චමින්ද කුමාර නැමැති අයගේ මාළු වෙළෙද සැලට මීටර් 100 ක් පමණ දුරින් තමන්ගේ සහයකයෙකු ලවා තවත් මාළු වෙළෙද සැලක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
වෙඩික්කරුවන් හදුනා ගැනීමට නොහැකි වන පරිදි ඉතා සූක්ෂම ලෙස මුහුණු ආවරණය කර ගෙන පැමිණ තිබෙන බවද පොලීසිය කියයි. පොලීසිය වෙත ලැබුණ තොරතුරු කිහිපයක් ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද වැලිගම පොලීසිය කියයි.
වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් වී කේ උපුල් කුමාර ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.