තුෂාරී කළුබෝවිල –
මොරටුව මහා නගර සභාවේ “සාහිත්‍යාංජලී-2022” සාහිත්‍ය මහෝත්සවය හෙට (04 වැනිදා) දවස පුරා මොරටුව මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ අනාගතය පිළිබඳ කතිකාවක් හෙට පෙරවරුවේ මාර්ගගත ව (සූම් තාක්ෂණය ඔස්සේ) පවත්වන අතර ඒ සඳහා දිවයිනේ ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර, නීල් වර්ණකුලසූරිය, රොෂාන් ප්‍රනාන්දු, සේනක ක්‍රිස්බන්, සමන් ද සිල්වා, ලංකිකා පෙරේරා යන කලාකරුවන් මාර්ගගත ව කතාබහට එක්වනු ඇත.
60, 70 දශකවල මොරටුවෙන් කලඑළි බසින ලද සංගීත කණ්ඩායම් තුනක ශිල්පීන් ද මොරටුවෙන් බිහි වූ තරුණ සංගීත කණ්ඩායමක් සහ දිවයිනේ ප්‍රවීණ සංගීත කණ්ඩායමක් ද එදින පස්වරු වැඩසටහනට සම්බන්ධ වීමට නියමිත බවත්, එහිදී දිවයිනේ ප්‍රවීණ ගායන ශිල්පීන් රැසක් හා මොරටුව මහා නගර සභාවේ ගායන වෘන්දය විසින් පැරණි කණ්ඩායම් සංගීත ගී ගයමින් සොඳුරු මතකයන් වත්මන් තරුණ පරපුරට සිහි ගන්වන්නට නියමිත බවත් මොරටුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එස්. ඩී. තෙවරප්පෙරුම මහතා කීවේ ය.
ෙමෙහිදී කියවීම් මාසයට අදාළ ව සහ සාහිත්‍ය උත්සවය වෙනුවෙන් පවත්වනු ලැබූ අන්තර් පාඨශාලා සාහිත්‍ය තරග රැසක ජයග්‍රාහකයින්ට සහතිකපත්, සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමේ.
එසේ ම කලා, ක්‍රීඩා, අධ්‍යාපන, ව්‍යවසායක, වෘත්තිය ක්ෂේත්‍රවලින් විශිෂ්ට කුසලතා දැක්වූ මොරටු පුත්‍රයන් පස් දෙනෙකුට මෙහිදී විශේෂ ගෞරව සම්මාන හා මුදල් ත්‍යාග පිනැමෙන අතර රුසියාවේ කසාන් සිනමා උළෙලේදී “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳ ම නළුවා සම්මානය දිනූ කුමාර තිරිමාදුර සහ පුනර්ජනනීය තිරිංග තාක්ෂණය භාවිත කළ ලොව ප්‍රථම මෝටර් රථයේ නිර්මාතෘවරයා වන ඔරුවල වානේ සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතා ද මොරටු පුත්‍රයන් ලෙස ඇගයුමට පාත්‍ර වීම විශේෂත්වයකි.
සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ විසිනි.