ජානක ලියනආරච්චි –
අපේ වකවානුවේ විශිෂ්ටම ගී පද රචකයෙක්වන රජී වසන්ත වෙල්ගම සිය ගීත නිර්මාණකරණයේ රිද්මය නව මානයකට යොමු කර ඇති අයුරු අසමි. ඒ රිද්මයේ වඩාත් හෘදයාංගම මෙන්ම සාටෝප රහිත ස්වරූපය තදින් සිත් විනිවිදින අයුරු අත් විඳිමින් මේ සටන තබන්නේ සාමාන්‍ය රසිකයෙක් ලෙස පිබිදෙන බලාපොරොත්තු සහිතවය.
ජන කවියේ සාටෝපය තිබුණේ නැත. එහි අව්‍යාජ රිද්මය අපගේ ඇතුළාන්තයට කිමිද ගියේය. ජන ගී ආරක් වූ බයිලා කලාවේ ද ඒ රිද්මය තිබිණි. කපුගේ මිනිස්සුන්ගේ හදවත බැඳගත්තේ ඔහුගේ අව්‍යාජ අමු හඬ නිසාය. සුනිල් පෙරේරා ගැයූ ගීතවල ඒ හිත් කා විදින නුමුසු හඬක් සහිත ගොරහැඩි යථාර්ථය වූ බව සිහි කළ යුතුය.
මෑතක දී ඒ රිද්මය විශේෂ අනන්‍යතාවයක් සහිතව පෙළ ගැස්වූ සහෘද අමු සිංදුකාර සංජිව් ලියෝන් ස්ඵර්ෂ කළ භූමිය බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණාවේශයන් පුබුදුවා ඇත. ඔහු ක්ෂේත්‍රය තුළ වින්දනීය වෙනසක් ඇති කළ බව හිතන්නේ තමන්ගේ නිර්මාණ “ගී කෙත” අස්වදන්නට පහළ කළ සුභාවිත යැයි ස්වයං අර්ථකථනයක් දී ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ පොල්මංකාර අයිතිය තමන් සතුව ඇති බවටවූ කල්පිතයක ජීවත්වන අප්‍රබුද්ධ ගොබ්බයන් පිරිස් සංවිධානය වී ඔහුට එල්ල කළ පීඩනය දෙස දකින විටය. ගීත නිර්මාණකරණය සඳහා සඳුන් ගැට මිටින් ගෙන උපන් බව සිතා සිටි මේ පුංචි මිනිසුන්ගේ වියරුව බලා ඉන්න අපට නම් මහත් ආශ්වාදයක් ගෙනාවේය.
රජී ගේ අලුත් නිර්මාණය ගැන කතා කරන විට සංජිව් ලියෝන් ගැන කියන්නට හිතුනේ ඔහු විසින් ප්‍රභාමත් කළ ඉසව්වක ඉදිරි ගමනක හැඩයක් ” ටූ රූ රූ හබඃ” නිර්මාණයෙන් දුටු නිසාය. රජී මෙන්ම අපේ ආදරණීය කවියෙක් වූ නන්දසිරි කිඹියහෙට්ටි ද මේ මානය සිය නිර්මාණයකින් ස්ඵර්ශ කරනු දුටුවෙමි.
අප ඉන්නේ බිඳ වැටී දුහුවිලි වන්නට ගිය මහා මරණීය අඳුරක් ඉදිරියේ ය. මිනිය ගෙයි මැද සාලයේ තබා ඇත. තවදුරටත් කලා කරුවන්ට හෝ සාහිත්‍යකරුවන්ට ඒ මිනිය මේකප් කිරමින් සිටීමට අවකාශ නැත. සංගීතයේ මෙන්ම කලාවේ රිද්මය ද මේ පවතින ගොරහැඩි යථාර්ථයේ කොටසක් වී ජන විඤ්ඤාණය පිබිදවීමේ දිශානතියකට ගමන් කළ යුතුය. ඒ සඳහා නිර්මාණකරුවන්ට නිශ්චිත වගකීමක් තිබේ. අඳුරු වකවානු තුළ ලෝකයේ සිද්ධ වී ඇත්තේත් එයය.
අපට ඉන්න සංවේදීම අව්‍යාජ මනුස්සයෙක්, විශිෂ්ඨම ගීත රචකයෙක්, පමණක් නොව ආදරණීය සහෘදයෙක් සිය ප්‍රභූ භූමිකාව අමතක කර පරිවර්තනීය සමාජ වෙනස් වෙනුවෙන් නව මානයක් ස්ඵර්ශ කිරීමට සිදුකරන නිර්මාණ ධ්වනිය රසිකයන් ලෙස අප තුළ නම් මහා බලාපොරොත්තු උපදවන්නේය. සංගීතය නිර්මාණය කර ගීතය ගායනා කරන ඩිලාන් වික්‍රමසිංහ විශිෂ්ට සාධාරණයක් පද පෙළට කරන්නේය. ඒ එකමුතුව මනරම්ය.
මේ ගීතය අසන්නට ඔබට ආරාධනා කරන්නේ එබැවිනි.
පද පෙළ…
ටූ රූ රූ හබඃ
ඉතිහාසේ පොත නිකමට මගේ අතින් පෙරළුනා
යුරෝපයේ අඳුරු යුගය කියලා තැනක් හමු වුනා
ලියපු අයට වැරදිලා ද මගේ ඔළුව පැටලුනා
නම් ගම් හැර සේරම ටික ලංකාවට සෙට් වුනා
සීතාම්බරේ ඇඳගෙන රජ්ජුරුවෝ රඟනවා
ඇත්ත කියපු උන් සේරම රිමාන්ඩ් එකේ තපිනවා
පිරිත් නූල බැන්ද ගමන් රජු ගේ හෙළුව වැහෙනවා
යටත් වැසියො එකතුවෙලා සාදුකාර කියනවා
සියල්ල දත් පොරක් ඇවිත් පත්තර කුණු අදිනවා
පාන්දරම ගේ පුරාම ඒ කුණු ගඳ හමනවා
ඉව පාරේ ටොමිය ඇවත් ටී.වී එකට එබෙනවා
මහත්තයෝ බුරන්නෙපා කියලා ඌත් බුරණවා
සල්ලි බෙදා ගන්න බැරිව කපුවො එක්ක ගහගෙන
දෙයියො හොස්පිටල් ඇඩ්මිට් බේත් නැතිව නෑ ගුණ
ආච්චි අම්මා ඉන්නව ටී.වී එකට වැඳගෙන
ජොන් ලොගී බෙයාඩ් අනේ ඔළුවේ අත ගහගෙන
යක්ඛ පුත්තු සූර් වෙලා කාර් රේස් පදිනවා
හේවායෝ දෙකට නැමිල සැලියුට් එක ගහනවා
පාතාලේ සෙට් බැහැලා දිවියලෝකෙ හදනවා
මෙහෙව් රටක උපන්න සැප උඹයි මායි විඳිනවා…
පද රචනය – රජී වසන්ත වෙල්ගම –
තනුව සහ සංගීතය -ඩිලාන් වික්‍රමසිංහ