දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන්ට පහර දුන් උමයාල්පුරම් ප්‍රදේශවාසීන් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හා පාසල් සිසුන්ද සිටින අතර ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පහර දී ඇත්තේ නිලධාරීන් පිරිසක් අනවසරයෙන් වැලි ගොඩ දමන ගම්වාසීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීය.
කිළිනොච්චියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩ දමන පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ගම්වාසීන් එම නිලධාරීන්ට විරෝධය පළකොට පසුව එය ගැටුමක් දක්වා වර්ධනය කරගෙන ඇත. එහිදී අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිස හා ගම්වාසීන් එක්ව එම නිලධාරීන්ට පහර දී තිබේ.
පසුව නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලක් මත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීන්දුව ලබා දී තිබේ. කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.







