ඉඳුනිල් කහටපිටිය –
රාජ්‍ය සේවයේ යෙදී සිටිය දී තමන් එකවර ආයතන තුනකින් වැටුප් තුනක් ලබාගෙන දූෂණ ක්‍රියාවක නිරත වී ඇති බවට මාධ්‍ය ඔස්සේ සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ එල්ල කරමින් තම වෘත්තීය ජීවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයට ද බරපතල හානියක් සිදුකිරීමට එරෙහිව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ. ඒ අනුව සර්වජන බලය වෘත්තීය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නලීන් පතිරණට එරෙහිව රුපියල් කෝටි පනහක (රු. 500,000,000) වන්දියක් ඉල්ලා ඔහු වෙත එන්තරවාසියක් යොමු කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා සිය නීතිඥයින් මාර්ගයෙන් සර්වජන බලය පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නලීන් පතිරණ වෙත දන්වා සිටින්නේ පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවා ඔහු විසින් ප්‍රකාශ කළ කරුණු සහමුලින්ම අසත්‍යයක් බවය. එම සාවද්‍ය ප්‍රකාශය සර්ව ජන බලය පක්ෂයේ නායකත්වය දරන දිලිත් ජයවීර යටතේ ඇති දෙරණ මාධ්‍ය නාලිකාව සහ ඒ අනුබද්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ලෙස ප්‍රචාරය කරනු ලැබූ බවද ඇන්ටන් පෙරේරා පවසයි. අදාල මාධ්‍ය සාකච්ඡාවේ දී නලීන් පතිරණ ප්‍රකාශ කර තිබුණේ ඇන්ටන් පෙරේරා “පශු සම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත්, ඔස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙක් ලෙසත් එකවර වෙන වෙනම වැටුප් තුනක් ලබාගත්” බවය.
තමන්ට ලැබුණු නිශ්චිත නිල වැටුපට අමතරව, තමන් වගකීම් දැරූ නිල ව්‍යාපෘති සඳහා විධිමත් අනුමැතිය ලද දීමනාවක් හැර වෙනත් කිසිදු මුදලක් අනීතික ලෙස තමන් ලබා නොගත් බව ඇන්ටන් පෙරේරා දැඩිව අවධාරණය කරයි.
පුරා වසර 28ක් රාජ්‍ය ගණකාධිකාරී සේවයේ නිකැලැල් සේවාවක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස තමන් වෙත කිසිදු අවස්ථාවක දූෂණ චෝදනා එල්ල වී නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි. අවංක, ප්‍රතිපත්තිගරුක සහ ආදර්ශමත් නිලධාරියෙක් ලෙස සමකාලීන රාජ්‍ය සේවකයින්ගේ ඇගයීමට ලක් වූ තමන්ට එරෙහිව එල්ල කරන ලද මේ චෝදනාව අගතිගාමී මෙන්ම සාහසික එකක් බව ද ඇන්ටන් පෙරේරා දන්වා සිටී.
මෙම අසත්‍ය ප්‍රකාශයෙන් තමන්ගේ දීර්ඝකාලීන කීර්ති නාමයට සිදුවූ බරපතල හානිය පූර්ණය කරගැනීම සඳහා රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් ඇන්ටන් පෙරේරාගේ නීතිඥයින් විසින් සර්වජන බලයේ වෘත්තීය වේදීන්ගේ සංගමයේ ලේකම්/කැඳවුම්කරු නලීන් පතිරණ වෙත මෙම එන්තරවාසිය යොමු කර තිබේ.









