උපේක්ෂා උඩුවැරැල්ල –
මේ වනවිටත් ධාරාණිපාත වර්ෂාවකි. අහස අඳුරු වි ඇත. ඇද හැලෙන වැස්ස තැතිගන්වන සුළුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරන පරිදි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව ඇත. මේ තත්ත්වය තුළ දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව පවතිනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව මෙම වායුගෝලීය පද්ධතිය ඉදිරි දිනවලදී උතුරු දෙසට ගමන් කරනු ඇත., එහි සෘජු බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අද (13) උදෑසන යළිත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාව දැනුම්වත් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ අවවාදාත්මක නිවේදනය
මේ නිවේදනය ඉතා වැදගත්ය. එය නිකුත් කර ඇත්තේ අද උදෑසන 6.30ට ය. ඒ අද සවස 3.30 දක්වා වලංගු වන පරිදිය. එම නිවේදනය ඉතා තද වැසි පිළිබඳ රතු නිවේදනයකි. මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත් සඳහාත්, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහාත් බලපැවැත්වේ.
එම රතු නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.
මීට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

උපරිම වර්ෂාපතනයන් සහ ප්‍රාදේශීය තත්ත්වය
ගත වූ පැය 22ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයෙනි. එම අගය මිලි මීටර 204ක් ලෙස සටහන් වේ.
අනෙකුත් ප්‍රදේශවල වාර්තා වූ ඉහළ වර්ෂාපතනයන් පහත පරිදි වේ:
- ගම්පහ දිස්ත්‍රික්කය: වේයන්ගොඩ මි.මී 145.5 සහ වතුපිටිවල මි.මී 105.5.
- රත්නපුර දිස්ත්‍රික්කය: ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121.
- කළුතර දිස්ත්‍රික්කය: බණ්ඩාරගම මි.මී 102.5 සහ හොරණ මි.මී 101.5.
ජලාශවල ජල මට්ටම සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම
අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා වාරිමාර්ග පද්ධතියේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කරන පරිදි, අද (13) පෙරවරු 6.00 වන විට එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දැමීම ආරම්භ කර තිබේ.
ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ වර්තමාන තත්ත්වය:
- රාජාංගනය ජලාශය: වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරේ.
- ලුණුගම්වෙහෙර ජලාශය: වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරේ.
- වෙහෙරගල ජලාශය: වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟට මුදා හැරේ.
- දැදුරුඔය ජලාශය: වාන් දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2,800ක් දැදුරුඔයට එක් වේ.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, තිස්ස වැව, වීරවිල යෝධ වැව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව සහ මාගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල, මොනරාගල අලිකොටආර සහ මන්නාරම යෝධ වැව යන ජලාශ ද මේ වන විට වාන් දමමින් පවතී.
ජනතාවට කෙරෙන දැනුම්දීම
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම, ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගංගා නිම්න ආශ්‍රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
සොදහමේ ස්වරූපය ආපදාවක් බවට පත්කර නොගැනීමේ වගකීම එම නියමන්ට යටත් අංශුමාත්‍ර පිරිසක් වූ මිනිසුන්ට තිබෙන බව අධිමානයෙන් තොරව තේරුම් ගැනීමට මොහොතක් යළිත් එළඹ ඇත.







