අද (ජුනි 30) දිනය තුළ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පුද්ගලයින් සඳහා තවත් සතියක සහන කාලයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ පුද්ගලයන්ට ලබන ජුලි මස 7 වන දින රාත්‍රී 12:00 දක්වා සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

විශාල පිරිසක් එකවර ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිස වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ පද්ධති පමාවක් (System slowdown) සහ අවහිරතාවක් හටගෙන ඇත. මෙම තාක්ෂණික ගැටලුව සැළකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
නව දූෂණ විරෝධී පනතට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ අද (30) දිනයයි.
මීට පෙර එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, නියමිත දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට අපොහොසත් වන පිරිස් වෙත එරෙහිව නීතිමය පියවර ගනිමින් දඩයකට යටත් කිරීමට කටයුතු කරන බවයි. එහෙත් ඇති වූ තාක්ෂණික තත්ත්වය මත මෙලෙස සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට කොමිසමට සිදු විය.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!







