දිනසේන රතුගමගේ
මත්ද්‍රව්‍ය බවට සැක කරන බෙහෙත් වර්ග ලබා දී ලිංගික අතවර කරමින් නීති විරෝධී ලෙස ළමා නිවාසයක් පවත්වා ගෙන ගිය පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන එම ළමා නිවාසයේ සිටි ළමයින් 13 දෙනෙක තමන් භාරයට ගැනීමට කෝපායි පොලීසිය හා ළමා අරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (02) කටයුතු කළේය.
යාපනයේ ඉරණපාලෙයි ප්‍රදේශයේ ආගමික ස්ථානයක් මුල් කරගෙන මෙම ළමා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති අතර ඉන් පලා ගිය ළමයින් තුන් දෙනෙකු විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව පොලීසිය හා ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් එම ළමා නිවාසය වටලා තිබේ.
මීට සතියකට පමණ ඉහතදී එම ළමා නිවාසයෙන් ළමයින් තුන් දෙනෙකු පලා ගොස් ඇත්තේ ඔවුන්ට එම ළමා නිවාසය තුළදී සිදුවන ලිංගික අතවර හා අනෙක් හිරිහැර ඉවසා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කරමිනි.
ළමා නිවාසයේ රඳවා සිටි ළමයින්ට කිසිදු හේතුවක් නොමැතිව විවිධ වර්ගයේ බෙහෙත් පෙති පානය කිරීමට ලබා දී ඇති අතර එම බෙහෙත් වර්ගය කුමක්දැයි හෙළි වී නොමැත.
පොලීසිය විශ්වාස කරන්නේ එම පෙති කිසියම් මත් ද්‍රව්‍යයක් විය හැකි බවයි.
කෝපායි පොලීසිය හා ළමා ආරක්ෂණ අධිකාරිය සිය බාරයට ගත් ළමයින් 13 දෙන තාවකාලිකව වෙනත් ළමා නිවාසයකට මාරු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







