ඉඳුනිල් කහටපිටිය –
නීතියත් තමන්ට අවශ්‍ය පරිදි නවා ගත හැකි බව කියන ආන්දෝලනයට ලක් වූ ව්‍යාපාරිකයෙක්වූ අවුරා ලංකා සමාගමේ අධිපති විරංජිත් තාඹුගල බන්ධනාගාරගතවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (22) නියෝග කළේ මෙම තැනැත්තා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
ඔහුට එල්ල වූ චෝදනාව අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙන් ණයට ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් පොරොන්දුවූ කාලවකවානුව තුල නොපියවා වංචා කිරීමය. සැකකරු පැමිණිලිකාර පාර්ශවයෙන් මෙම මුදල ලබාගෙන තිබුනේ දින 15කින් එය පියවා දැමිමේ පොරොන්දුව මතය. එ් සඳහා දෙපාර්ශවය විසින් ගිවිසුමක් ද අත්සන් කර තිබිණි. එහෙත් සැකකාර තාඹුගල මුදල් නොපියවා කට්ටි පනින්නේය.
අවසානයේ දි අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මේ සිද්ධිය පැමිණිල්ලක් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළේය.
ඒ අනුව කෙරුණු විමර්ශනය ප්‍රකාරව තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් විය. අනතුරුව සැකකාර තාඹුගල අධිකරණයට ඉදිරිපත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පවසන්නේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී රුපියල් මිලියන 60ක මුදලක් සැකකරුගේ ගිනුම වෙත බැරවී ඇති බවට සියලු තොරතුරු ලැබී ඇති බවය. මෙම ණය පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුවී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.
තාඹුගල කී කතාව –
විරංජිත් තාඹුගල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ නිතීඥ රන්ජන් ද සිල්වා ය. ඔහු සදහන් කර සිටියේ තාඹුගල අදාළ ආයතනයෙන් හෙළිකොප්ටර් දෙකක් මිලදීගැනීමේ ගනුදෙනුවක් සිදුකර ඇති බවය. අදාළ අවසන් මිලගණන් විමර්ශනයේ රුපියල් මිලියන 120ක මුදලක් තම සේවාදායකයා පැමිණීලිකරුට ගෙවා ඇති බවට හෙළිවී යැයි නීතිඥයා අධිකරණයට දැන්වීය.
තාඹුගලගේ නීතිඥවරු කීවේ තාඹුගල එවැනි කෝටි 07ක මුදලක් ලබා ගත්තේ නැති බවය.
අධිකරණය මේ දෙපාර්ශවයේම කරුණු සලකා බැලුවේය. අනතුරුව තාඹුගල සම්බන්ධ විමර්ශන හැකි ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
අනතුරුව ලබන 27 වැනිදා දක්වා තාඹුගලව රක්ෂිත බන්ධනාගාරගත කළේය.