හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
සෞඛ්‍ය ක්ෂෙත්රයේ සිදුවන නින්දිත වංචා සම්බන්ධව තිගස්වන සුළු හෙළිදරවුව වුන හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුවේ සැලකිය යුතු භූමිකාවක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.
අධිකරණ නියෝගයක් මත විදෙස් ගමන් තහනමකට ලක් වී සිටින හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලබන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව පිළිබඳව වැඩිදුර විමර්ශන වෙනුවෙනි.
ඉමියුනිග්ලොබිමින් එන්නත් ගනුදෙනුව සම්බන්ධව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු වෙත එන්නත් නිශ්පාදනය සඳහා රුධිර ප්ලාස්මාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයාට එම ප්ලාස්මාව සමාගම් අයිතිකරු වෙත නිකුත් කරන ලෙස එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ලිඛිතව නියෝග ලබා දී තිබිණි.
ඒ පසුගිය පෙබරවාරි මස 28 වෙනිදාය. සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත් විසින් නිර්දේශ කර තිබුණේ රුධිර ප්ලස්මා ලීටර් 2000ක රුධිර ප්ලාස්මාව ලබා දෙන ලෙසය.
එම ප්ලාස්මාව යොදාගෙන රටතුළ ඇති ඖෂධ නිශ්පාදනය ආයතනයක් තුළ හියුමන් ඉමියුනිග්ලොබියුලින් එන්නත නිශ්පාදනය කර ඉන්දීය සමාගමකින් ගෙන්වා ගත්තා සේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිදහස් කරගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කිරීම සම්බන්ධ ජාවාරම පිළිබඳ මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.







