සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව වැවේගම ප්රදේශයේ කම්මලක් තුළ ගිනි අවි නිශ්පාදනය කළ පුද්ගලයෙකු නිශ්පාදනය කරන ලද ගිනි අවියක් හා තවත් ගිනි අවි නිශ්පාදනයට ගන්නා කොටස් කිහිපයක් සමග හම්බන්තොට විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (20) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව වැවේගම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට යුධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලිම සිදුකරන විටත් සැකකරු ගිනි අවියක් සකස් කරමින් සිට තිබේ. වැටලීමේදි සැකකරු විසින් නිශ්පාදනය කර තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ටි කටස් වර්ගයේ ගිනි අවියක් හා තවත් ගිනි අවියක කොටස් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට බාරදී ඇති අතර සුරියවැව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි සැකකරු හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.







