කොළඹ – දිලංගා ගෝමස් –
බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කලේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2500ක (දෙදහස්පන්සියයක) මුදල් ඇපයක් මත මුදාහැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ විසින් අද (31) නියෝග කරන ලදී.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් සිදු කරන ලද පොලිස් විමර්ශන අවසන්ව ඇති හෙයින් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇප මත මුදා හරින ලද අතර චෝදනා පත්‍ර ගොනු කිරීම සඳහා නැවත මෙම නඩුව ජනවාරි මස 24 දින කැදවීමට නියමිතය.
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් වන චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු පෙනී සිටියහ.
පසුගිය 29 වන දින අළුයම 1.20 ට පමණ බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට රිය ධාවනය කරමින් සිටිය දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ කාර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ වැගන්ආර් කාර් රථයක සහා නවතා තිබූ බස් රථයක ගැටී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය විසින් සිදු කරන ලද බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිට ඇති බවට තහවුරු වී තිබුණි