භූගෝලීය ආසන්නතාවය, හුරු පුරුදු බව සහ දිගු කාලීන සම්බන්ධතා පිළිබඳව සැලකීමේදී ශ්‍රි ලංකාවට වඩාත්ම සුදුසු ඉන්දීය ව්‍යාපාර සහ කර්මාන්ත සමඟ සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම බව ශ්‍රි ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා පැවසීය. අන්තර්ජාල මාර්ගයෙන් පැවිති මෙවර ශ්‍රි ලංකා ආයෝජන සංසදය අමතමින් මේ බව සඳහන් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ද්විපාර්ශවික ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළින් ආයෝජන විශ්වාසය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවෙනු ඇතැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් වෙළඳපොළ විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021 අතරතුර ඉන්දියාව වෙනුවෙන් ම වෙන් වූ අතත්‍ය (virtual) සැසියක් 2021 ජූනි මස 9 වන දින පැවැත්විණ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ කලාපීය සහයෝගීතාවය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම විශේෂ සැසිය ඇමතූ අතර සාර්ථකව ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරත HCL, IOCL (LIOC) සහ අශෝක් ලේලන්ඩ් යන ඉන්දීය සමාගම් තුනෙහි නියෝජිතයන්ගෙන් සහභාගීත්වය සහිත මණ්ඩල සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.
සැසිය ඇමතූ මහ කොමසාරිස් බාග්ලේ මහතා තිරසාර සහ වේගවත් සංවර්ධනයක් සහ පොදු සෞභාග්‍යයක් ළඟා කරගැනීමට 21 වන සියවස සඳහා ආර්ථික සහයෝගීතාවයක් වෙනුවෙන් ඉන්දියාව සූදානම් බව අවධාරණය කළේය. අනාගත ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගිතාවය වැඩි වශයෙන් වරාය, නාවික කටයුතු, සම්බන්ධකතාවය, කාර්ය සම්පාදනය (logistics), බලශක්තිය/පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ ආගන්තුක සත්කාරය, ප්‍රවාහනය, දේපල වෙළඳාම, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර වෙත යොමු කළ හැකි බව එතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජනයන්ගේ විස්තීරණ ස්වභාවය සහ පරිමාව ගෙනහැර දැක්වූ හෙතෙම පෞද්ගලික අංශයේ සහභාගීත්වයේ වැදගත්කම ද අවධාරණය කළේය.
තාරක බාලසූරිය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වැදගත් ඉන්දීය ආයෝජන පිළිබඳව අදහස් දැක්වූ අතර ඉන්දීය ආයෝජකයන් උනන්දුවක් දැක්විය හැකි ශ්‍රී ලංකාවේ විවිධ අංශ සහ ව්‍යාපෘතීන් පිළිබඳව අවධාරණය කළේය. රථවාහන කොටස්, ඇඟලුම් කර්මාන්තය, රෙදි පිළි උද්‍යාන, තොරතුරු තාක්ෂණය, ඖෂධ සහ අධ්‍යාපනය යන ක්ෂේත්රයන් පිළිබඳව එතුමා සඳහන් කළේය. විශේෂයෙන්ම වැක්සින් මෛත්‍රී වැඩසටහන යටතේ එන්නත් ලබා දීම ඇතුළු කොවිඩ්-19 වසංගතයට අදාළ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් සහයෝගයට එතුමා ස්තූතිය පළ කළේය. ඉන්දියාවේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිලූක කඳුරුගමුව මහතා සහ CCC හි උප සභාපති විෂ් ගෝවින්දසාමි මහතා ද මෙම සැසිය ඇමතූහ.