ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි සහ අවසන් එක් දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් අද රාත්‍රී 7.53ට පමණ අත්හැර දැමීමට විනිසුරුවරු නිල වශයෙන් තීරණය කළේය.
තරගාවලියේ මුලුම වරට කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පරදෙමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ සලකුණු සහිත නවසීලන්ත කණ්ඩායමේ අභිලාෂ පූර්ණ ගමන මහ වැසි මැද නැවතී ගියේය.
ශ්‍රි ලංකා කණ්ඩායම අද තරග වැදුනේ මේ තරගාවලියේ තරග දෙකක්ම බංකුවේ සිටි ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින් පැතුම් නිශ්ශංක, අසිත ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ වෙනුවට නිශාන් මධුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, මොහොමඩ් සිරාස් කණ්ඩායමට නම් කරමිනි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටවන විට පන්දු ඕවර 21ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී නවසීලන්ත කණ්ඩායම ලකුණු 112ක් රැස් කරගෙන සිටියේය. දැවී ගිය එකම කඩුල්ල දවා ගන්නේ වේග පන්දු යවන මොහොමඩ් සිරාස් විසිනි. චරිත් අසලංකගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ නවසීලන්ත අංක 2 ක්‍රීඩක ටිම් රොබින්සන් ලකුණු 09කට දැවී ගියේය.
ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 24කි. යවමින් තිබුණේ සිව්වැනි පන්දු ඕවරය ය. එතැන් සිට ආරම්භක පිතිකරු විල් යන්ග් සහ අංක 03 පිතිකරු හෙන්රි නිකොලස් නොදැවුනු ලකුණු 88ක සම්බන්ධයක් ගොඩනගා තිබිණි. යන්ග් පන්දු 68ක් තුළ ලකුණු 56ක් ලබාගෙන සිටියේය. හෙන්රි නිකොල්ස් පන්දු 51ක් තුළ ලකුණු 46ක් ලැබුවේය.
21 වැනි ඕවරය නිමාවනවිට ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව 7.30ට පමණ අඩු වි ගිය ද පිටියේ ආවරණ ඉවත් කිරීමට සැරසෙත්ම යලිත් වැස්ස ආරම්භ වූයේය. තරගය අත් හැර දැමිනි.
තරග තුනෙන් එක් තරගයක් අත්හැරිනි. තරග 2-0 ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කළේය. තරගාවලියේ විරයා කුසල් මෙන්ඩිස්ය. ශ්‍රී ලංකාව පැත්තෙන් මේ ගතවෙමින් ඇත්තේ වාසනාවන්ත ජයග්‍රාහී අවුරුද්දකි. එක්දින තරගාවලි 05ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන්නේ දශක තුනකට ආසන්න කාලයකට පසු ඉන්දියානු කණ්ඩායමත් පූර්ණ තරගාවලි පරාජයකට ලක් කරමිනි. අද නිමාවන තරගාවලියේ දී නවසිලන්ත කණ්ඩායම පරදා තරගාවලි ජයග්‍රහණයක් හිමි කරගන්නේ වසර 12කින් පසුය.
අවාසනාවට බංකුවේ සිටි ජව සම්පන්න තරුණයින්ට ස්වකීය විභවය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද කාලගුණය විසින් මගහැර දැම්මේය. කෙසේ වෙතත් වැදගත් වනු ඇත්තේ මේ ජයග්‍රාහී රිද්මය අඛණ්ඩව පවත්වා ගැනීමය.







