වතු කම්කරුවන්ට වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ක්‍රියා කර ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට පත කිරීම සඳහා වු සාකච්ඡා මේ වනවිට දියත් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.
ජනාධිපතිවරයා පැවසුවේ මේ වැඩපිළවෙළ සියලුම දේශපාලකයින් සමග සාකච්ඡා කරමින් දියත් කරන පුළුල් එකක් බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවන අවස්ථාවේ ඉන්දියානු රජය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ මම ඉන්දියානු රජයට නැවත ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන් කඳුකරයේ දමිළ ජනතාවට විශාල අඩුපාඩුවක් වූයේ තමන්ගේ නමට ඉඩමක් සහ නිවසක් නොමැතිවීමයි.
ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් සියල්ල අද තහවුරු වී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ලබාදිය යුතුව තිබෙනවා. එම ක්‍රියාවලිය තමයි අද රජය මේ ආරම්භ කර තිබෙන්නේ. එම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට වතු සමාගම් සමඟ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අදාළ නිවාස වැඩසටහන් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරනවා.
ඒ වගේම වතුකරයේ අධ්‍යාපනය දියුණු කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වතුකරයේ අධ්‍යාපනය අනෙකුත් පළාත්වල අධ්‍යාපනය සමඟ සංසන්දනය කරනවිට අඩු මට්ටමක පවතිනවා. එබැවින් මේ සියලු පාසල්වල එක සමාන අධ්‍යාපන තත්ත්වයක් ඇති කළ යුතුයි.
ඒ වගේම කඳුකරයේ සියලු ජනතාව වතුකරයට ඇතුළු වෙන්නේ නැහැ. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, වෘත්තීය පුහුණුව ලබා ගැනීම විශේෂයෙන් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම වැනි පහසුකම් මෙම තරුණ තරුණියන් වෙනුවෙන් ද සලසාදිය යුතුයි.

වතුකරයේ සේවකයන් ලෙස කටයුතු කරනවාද, නැත්නම් වතුකරයේ තිබෙන ගිවිසුම අනුව ඉඩම් කොටසක් භාරදී සුළු තේ වතු හිමියන් හා සමාන තත්ත්වයකට එම ජනතාව ගෙන එනවාද යන්න පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා.
මෙහි සිටින සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් පක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ ප්‍රශ්නවලට එකින් එක විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සමඟම කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ගමනට අප සූදානම් විය යුතුයි.
රට පත්ව තිබු අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කාලයක් දුක් වින්දා. නමුත් අද අපට බංකොලොත්භාවයෙන් නිදහස් වී යළි ආර්ථික කටයුතු ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මම භාරගත්තේ ආහාර නැති, ඉන්ධන නැති රටක්. අද ආහාර, ඉන්ධන තිබෙනවා. නමුත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට බදු බර වැනි ප්‍රශ්න තිබෙනවා. නමුත් එම බර හැමදාම තිබෙන්නේ නැහැ. තව මාස කිහිපයක් යනවිට ජනතාවට සහන ලැබෙනවා.
පසුගිය ආර්ථික අර්බුදයෙන් අපට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ ඉන්දියාවෙන් ලබාදුන් මුදල් නිසා බවද සිහිපත් කළ යුතුයි. ඒ මුදල් ටික නොලැබුණා නම් අපට ඉදිරියට යාමට අපහසු වෙනවා.
ඒ වගේම ඉන්දියාව සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අප දැන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඉන්දියාවේ ආර්ථිකය සීග්‍රයෙන් දියුණුවන අවස්ථාවක්. එවැනි අවස්ථාවක අප රටවල් දෙක අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරමින් මෝදි අගමැතිතුමා හමු වූ අවස්ථාවේ දී අප ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මෙම වැඩසටහන ආරම්භ කිරීමට සහය දුන් ඉන්දීය රජයට නැවත මාගේ ස්තුතිය පළ කර සිටිනවා.
‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා විසින් සිදු කරනු ලැබූහ.







