කට වරද්දාගෙන වැඩේ වල් කරනොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අද සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා සිටියේය. ඔහු පැවසුවේ කරගම දේවාලය වැනි සම්පත් බහුල තැන්වලින් ගත හැකි උපරිම ආධාර ලබා ගත යුතු බවත් එදා අපේක්ෂා රෝහලේ දී සෞඛ්‍ය ඇමතිවරයා කළේ මනමාලිගේ ආරාධනාවට මනමාලයාගේ නිවසට ගොස් මනමාලිව උස්සන් ආවා වැනි වැඩක් බවත්ය.
එමෙන්ම රනිල්ට සහ ගෑස් සිලින්ඩරයට “පරිප්පු දෙනවිට” නැවත කල්පනා කරන ලෙසත් ගෑස් සිලින්ඩරය ඡන්ද ලක්ෂ 22ක් නොකැඩුවේ නම් සජිත් ජනාධිපති වී මාලිමාව අද විපක්ෂයේ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව සිනා සයුරක ගිල්වමින් කී කතාව මෙසේය.
“අපේ සෞඛ්‍ය ඇමති තුමා ලස්සන තරුණ අලුත් ඩොක්ටර් හරියට කළේ එදා මනමාලිගේ ආරාධනාවට මනමාලයගේ ගෙදර ගිහිල්ලා මනමාලි උස්සන් ආවා වගේ වැඩක්. ”
“මහවැලි ගඟ ශ්රිපාදස්ථානයෙන් පටන් අරන් ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනවා. අපි සීයට 80ක්වත් වතුර අපි ගන්නව ද?. සියයට 20ක්වත් අපි ගන්නේ නෑ. 80ක් මුහුදට යන්නේ. ඒ වගේ කතරගම දේවාලෙනුත් ඇමතිතුමා සියයට දහයක් නෙමෙයි… සොච්චමයි ඔය අපට ලැබුනේ. අපේක්ෂා රෝහලට… ගන්න පුලුවන් තරම් සුද්ද කරන්ඩ. ආන්ඩුවට නැති වෙලා තියෙන්නේ. ඔබතුමා ගිහින් වචන වරද්ද ගන්න එපා. ”
“දැන් ඔබතුමා කියයි මම කිව්වේ වෙන වචනයක්. ඊට පස්සේ ගිය වෙන එකක්. සමන්ත විද්‍යාරත්නත් මට කළේ ඕක තමයි. මම ගුරුවරිය දන ගැස්සුවෙ නෑ. සමන්ත විද්‍යාරත්න මාව දණ ගැස්සුවා. ඕක තමයි කළේ. මගෙ ළමයි දෙන්නට ඉස්කෝලෙ යන්න බැරිවුනා මාසයක්. මගේ ජීවිතේ සම්පූර්ණයෙන් නැතිවුනා. නමුත් මම අදත් සමන්තත් එක්ක වෛර කරන්නේ නෑ. ඒකට කමක් නෑ…”
“හැබැයි ඔබතුමා වචන වරද්දගන්න එපා… දැන් සෞඛ්‍ය ඇමතිනේ සර්… හොඳට වැඩේ කරගන්න. සුද්ද කරන්න පුලුවන් තැන්වලින් ආණ්ඩුවට ගන්න. ආණ්ඩුවෙ සල්ලි දාන්න ඉස්සරවෙලා කතරගම දේවාලයෙන් තව ඉස්පිරිතාල දහයක් හදන්න පුලුවන්නම් ඒක හදන්ඩ. දේවාලෙ නිකම් දුන්න ගානනේ ඇමති තුමා. අපි කියන්නේ වැඩේ වල් කරගන්න එපා. වල් කරලා මේ ඉන්න 59 දෙනාට බනින්නත් එපා.’
“අනිත් එක ඔයාගොල්ල හැම වෙලාවෙම බනින්නෙ රනිල්ටයි අපිටයි. අපිටයි රනිල්ටයි බැනලා වැඩක් නෑනේ. විශේෂයෙන් ගෑස් සිලින්ඩරේට. අපි (ලක්ෂ ) 22ක් කැඩුවෙ නැතිනම් සජිත් ජනාධිපතිනේ ඔතන.”
“ඉතින් ඔයාගොල්ල අපිට බැනලා වැඩක් නෑ. අපි 22ක් කඩපු නිසා තමයි ඔයාලට ආසන 159ක් ආවේ. නැතිනම් 159 නෙමෙයි… ඔයගොල්ල මෙහෙ ( විපක්ෂය පෙන්වයි) . මේ ගොල්ල ඔහෙ ( ආණ්ඩු පක්ෂය පැත්ත පෙන්වයි) . ඒකයි ඇත්ත කතාව. ඔයගොල්ලයි අපියි දෙගොල්ලම මෙහෙ ( විපක්ෂය පැත්ත පෙන්වයි) “.
“ඒ නිසා ඔයගොල්ල හැම වෙලාවෙම අපට විතරක් පරිප්පු දෙන්න එපා. ”







