දැන් මේ ලෝකයේ විශ්මජනක බිළිඳිය ඇය ය. මේ කිරිකැටියාට දැන් නමක් ඇත. ඇයට තබා ඇති නම “ආයා” ය. අරාබි භාෂාවෙන් අයා යනු දෙවියන්වහනසේගේ ලකුණය.
ඇත්තටම ඇය මේ මනුෂ්‍ය ජීවිතයේ ආශ්චර්යය පිළිබඳ කියා පෑවාය. මේ වනවිට සිරියාවේ සහ තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් 21000ක් මිය ගොස්ය. ඇය මෙලොව එළිය දුටුවේ ඒ මහා ව්‍යසනය සිදුවන මොහොතේය. භූ කම්පනයෙන් පැය 10ක් ගිය පසු සඳුදා දහවල් සඳුදා දහවල් ජෙන්ඩරිස් හි ගලවා ගැනීමේ සේවකයින් ආයා සොයා ගන්නේ කොන්ක්‍රීට් යට වැළලී මිය ගිය ඇයගේ මව වන අෆ්රා අබු හදියාගේ පෙකණිවැලට සම්බන්ධ වී පණ ගැහෙමින් සිටියදී ය.
ඇගේ දෙමාපියන් ජීවත් වූ පස් මහල් නිවාස ගොඩනැගිල්ලේ සුන්බුන් හාරා යද්දී මේ විශ්මය ජනක සිඟිත්තිය හමුවිනි. ඇයගේ මව මෙන්ම ඇයගේ පියා සහ සොයුරු සොයුරියන් සිව් දෙනා ඒ ගොඩනැගිල්ලේ සුන්බුන් යට වැළලී අවසන් ගමන් ගොස් තිබිණි.
සහන කණ්ඩායම් සිඟිත්තිය ඉක්මනින්ම අසල පිහිටි අෆ්රින් නගරයේ සිහාන් රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළේය. පහත දැක්වෙන්නේ ආයා සුන් බුන් අතරින් සොයා ගත් අවස්ථාවය.
බොහෝ විට දැරිය බිහි කළ පසු, ඔවුන්ව සොයා ගැනීමට පැය කීපයකට පෙර අබු හදියා මිය ගොස් ඇති රෝහලේ වෛද්‍ය හනී මහරූෆ් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි.
“අපි ඇයට ආයා යන නම තැබුවා… ” මාරූෆ් පැවසීය. ඇයගේ තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් ඇත. වෛද්‍ය මහරූෆ්ට අනුව මුලින් බිය වූ පරිදි ඇයගේ කොඳු ඇට පෙළට කිසිදු හානියක් සිදු වී නොමැත.

මේ වනවිට ආයාට ඉතිරිව ඇත්තේ එකම භාරකරුවෙකි. ඒ ඇයගේ මාමාවන සලා අල්-බද්රාන්ය. රෝහලින් නිදහස් වූ දිනක ඔහු ඇයව රැගෙන යනු ඇත.
කෙසේ වෙතත්, වයඹ දිග සිරියාවේ ජෙන්ඩරිස් නගරයේ ජීවත් වූ ආයා ගේ මාමාවන සලා අල්-බද්රාන් ගේ නිවස ද භූමි කම්පාවෙන් විනාශ වී ගොස්ය. ඔහු සහ ඔහුගේ පවුලේ අය එක් මහල් ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය පමණක් බේරා ගැනීමට සමත් වී තිබිණි.
දැන් ඔහු සහ ඔහුගේ පවුලේ 11 දෙනෙකු ජීවත් වන්නේ කූඩාරමක බව සලා අල්-බද්රාන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබිණි.
භූකම්පාවෙන් පසු සලා අල්-බද්රාන්ගේ නිවසේ හෝ ඉතිරි වූ බොහෝ ගොඩනැගිලිවල ගොඩනැගිල්ලේ ජීවත් වීමට කිසිවෙකුට හැකියාවක් නැත. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වයඹදිග සිරියාවේ ඇති ගොඩනැගිලිවලින් ජීවත් වීමට ආරක්ෂා සහිතව ඇත්තේ ගොඩනැගිලිවලින් 10% ක් පමණ්ක බවය..
මේ මහා ව්‍යසනයෙන් 21000කට අධික සංඛ්‍යාවක් මිය ගොස්ය. තවමත් සුන්බුන් අතර මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. මේ මරණ තවත් වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මේ මහා ව්‍යසනය මැද ජීවිත බලාපොරොත්තුව ඉපදවූ ආයා හෙට දවසේ යළි ගොඩනැගෙන තුර්කියේ සහ සිරියාවේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව සංකේවත් කරනු ඇත.
The Guardian.







