රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිදු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමු වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදුවන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කළේය.
බැංකුවත්, ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිධිමත් අංශය විශාල වන අතර එය විධිමත් කිරීමේදී දැනට අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන ජනතාව සුරක්ෂිත වන ආකාරයට එම ක්‍රියාවලිය සිදු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කරතා, ව්‍යාපෘති සඳහා ගත වන කාලය වැඩි වීම, දූෂණය ආදි කරුණු හේතුවෙන් ආයෝජන පවත්වා ගෙන යාමට තිබෙන බාධා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම ක්‍රියාවලියේදී සියලු කටයුතු සරල හා අදූෂිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් තුළට ගෙන ඒමට තම රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .
ශ්‍රී ලංකා බැංකු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තෙවරතන්ත්‍රි, කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක, සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අයෝධ්‍යා ඉද්දවෙල, හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ, Deutsche බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් ෆිගුරාඩො, ඉන්ද්‍රජිත් බෝයගොඩ (SLBA ) මෙම අවස්ථාවට සහභාගී වූහ.







